චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනා ඊයේ (31) ශ්‍රි ලංකාවෙන් පිටත්ව ගිය විශේෂ ගුවන්යානයෙන් දිවයිනට පැමිණියා.
මත්තල ගුවන්තොටුපොලේ සිට එම සිසුන් දියතලාව යුද හමුදා කදවුරේ පිහිටි විශේෂ රෝග නිරෝධායන මධ්‍යස්ථානය වෙත මේ වන විට රැගෙන ගොස් සිටිනවා.
පසුගිය සතියේදී චීන බලධාරීන් වූහාන් නරගය වසා දැමීමට පියවර ගැනීමත් සමග එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා රජය චීන බලධාරීන් සමග අඛණ්ඩවම සාකච්ඡා සිදුකළා. එහි ප්‍රතිඵලයක් ලෙස වූහාන් නරගයේ සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට රැගෙන ඒම සදහා විශේෂ පුහුණුවක් ලැබූ කාර්ය මණ්ඩලයක් සමග ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ එල් 1423 දරණ විශේෂ ගුවන් යානය ඊයේ කටුනායකින් පිටත්වුණා.
වූහාන් නරගයේ සිටි සිසුන් රැගෙන ගුවන් යානය අද (01) පෙරවරු 7.42ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොල වෙත පැමිණියා.
යුද හමුදාව සහ ගුවන් හමුදාව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස මත්තල ගුවන් තොටුපොලේදී ඔවුන් විශේෂ පරික්ෂාවකට ලක් කෙරුණා. අනතුරුව සිසුන් දියතලාව රෝග නිරෝධායන මධ්‍යස්ථානයට විශේෂ බස් රථයකින් රැගෙන යාම ආරම්භ කෙරුණා. දියතලාව යුද හමුදා කදවුරේ සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් සහිතව විශේෂ මධ්‍යස්ථානයක් ඉදිකර තිබෙනවා. එහිදී දින 14ක කාලයක් රදවා තබා ගනිමින් සිසුන් වෛද්‍ය පරික්ෂාවකට ලක් කිරීමට නියමිතයි.
චීනයේ සිට මෙරටට පැමිණෙන සිසුන්ට උපරිම පහසුකම් ලබාදීමට ජනාධිපතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පරික්ෂණ කටයුතු සහ රෝහල්වල පහසුකම් හැකි උපරිමයෙන් පුළුල් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කරන්නේ.
ඒ අනුව වූහාන් නගරයෙන් පැමිණෙන සිසුන් 33 දෙනා සමග චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 660ක් වනවා.
The post වූහාන් සිට විශේෂ ගුවන් යානයෙන් රැගෙන ආ සිසුන් දියතලාවට appeared first on ITN News.
Post a Comment