ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අයත් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ඒ එච් එම් ෆවුසි මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව දෙසැම්බර් 8 වනදා යළි කැදවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දින නියම කළා. අල්ලස් කොමිසමයි මෙම නඩුව ගොනුකර තිබෙන්නේ.
රුපියල් හැට දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයට අනුයුක්තව සිටි භාණ්ඩ භාර ගැනීමේ නිලධාරියෙකු ලබන 22 වනදා දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා. පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ඇති පළතුරු පාර්ලිමේන්තුවට සැපයීමේදී ඒවා ප්‍රතික්ෂේප නොකොට භාර ගැනීම සදහායි ඔහු මෙම අල්ලස ලබාගෙන තිබෙන්නේ
මිහින්ලංකා ගුවන් සමාගමට ආම්පන්න මිලදී ගැනීමේදී රජයට රුපියල් මිලියන 880 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව දෙසැම්බර් 8 වනදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා මෙම නියෝගය ලබා දුන්නා.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට තිබියදී තමිල්නාඩුවට පැන ගිය කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සිටි පොලිස් නිලධාරියා වැඩිදුර විමර්ශන සදහා කොයිම්බතූර් අපරාධ පරික්‍ෂණ කොට්ඨාසයට භාර දී තිබෙනවා. ප්‍රදීප් කුමාර බණ්ඩාර නමැති මෙම පොලිස් නිලධාරියා පසුගියදා රාමනාථපුරම් පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා.
තමන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා රිමාන්ඩ් භාරයේ පසුවන නීතිඥ අජිත් ප්‍රසන්න මහතා කළ ඇප ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළා. තරුණයන් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ සාක්‍ෂිකරුවන්ට බලපෑමක් වන ආකාරයට මාධ්‍ය හමුවක් පැවැත්වූ බවට අජිත් ප්‍රසන්න මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.
The post අධිකරණ : ෆවුසිට එරෙහිව නඩුව දෙසැම්බර් 8 වනදා යළි කැදවේ appeared first on ITN News.
Post a Comment