Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු චෝදනාවෙන් බේරෙන්න මළල්ගොඩ වාර්තාවත් වෙනස් කරන්න හදපු මෛත්‍රී  

Add comments

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම භාරගන්නේ නම් මලල්ගොඩ කමිටු වාර්තාව වෙනස්කර විදෙස් රටක තානාපතිකමක් ලබාදිය හැකි බව පවසමින් හිටපු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම තමන්ට බලපෑම් කළ බව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපතිකොමිෂන් සභාවේ සාක්ෂි ලබාදෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

කොමිසම හමුවේ වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පොලිස්පතිවරයා සදහන් කළේ පරීක්ෂණවලට අදාළ සියලු නිලධාරීන්ගේ දුරකතන වාර්තා පැවතිය ද තමන්ගේ දුරකතන වාර්තා පමණක් නොමැතිවීම සම්බන්ධයෙන් එවක ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපතිවරයාගේ සහෝදරයා සම්බන්ධයෙන් තමන්ට සැකයක් මතුවන බවයි.

සාක්‍ෂි විමසීම ආරම්භ කරමින් ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්නකර සිටියේ ප්‍රහාරය පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු ගැන එවක ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාව සිටි රුවන් විජයවර්ධන මහතා දැනුවත් නොකළේ ඇයිද යන්නයි.

පිළිතුර – දැනුවත් කරලා වැඩක් නැහැ ස්වාමීනී. ඔහු ක්‍රියාකාරී නැහැ. අනික ඔහුට භාරදීල තිබ්බෙ පුහුණු කිරීම් හා තවත් ආයතන දෙක තුනක් විතරයි. තිබුණ දේශපාලන අවුලත් එක්ක මං ඒ ගැන කියන්න ගියෙත් නැහැ.

සභාපති විනිසුරු – ඔබ මේ සම්බන්ධයෙන් කතෝලික පල්ලිය හෝ කාදිනල් හිමියන්ව දැනුවන් නොකළේ ඇයි?

පිළිතුර – කාදිනල් හිමියන්ට දන්වන්න තරම් තොරතුර ස්ථීර තත්ත්වයේ තිබුණේ නැහැ. එහෙම තිබුණා නම් මං අනිවාර්්‍යයෙන්ම කාදිනල් හිමිපාණන්ව දැනුවත් කරනවා.

සභාපති විනිසුරු – එහෙම නම් අප්‍රේල් 20 වනදා තොරතුරු ලැබුණම හෙට ගහනව කියලා කාදිනල් හිමියන්ට කියන්න තිබුණනෙ.

පිළිතුර – මට ඒ තොරතුර හවස පහට විතර නිලන්ත ජයවර්ධන දුරකතනයෙන් කිව්වෙ. ඒක විනාඩි දෙකයි තත්ත්පර දහතුනක කෝල් එකක්. නිලන්ත කිව්වේ සර් කලින් ආපු තොරතුර ගැන වැඩි තොරතුරක් ලැබුණා කියලා. මං ඇහුවා එතකොට ෆොරීන් ඉන්ටර්ලිජන්ට් එකද කියලා. ඔවු ඒකෙන් තමයි කියලා නිලන්ත මට උත්තර දුන්නා. මං ආපහු ඇහුවා ඔයගොල්ලො තොරතුරක් හොයාගත්තේ නැද්ද කියලා. මොකුත් නැහැ සර් කියලයි නිලන්ත ඒකට මට උත්තර දුන්නේ. ඉතිං ස්වාමීනී ඇත්තටම සිද්ධවෙලා තියෙන්නේ රාජ්‍ය බුද්ධි සේවය අනුන්ගේ බුද්ධි තොරතුරක් පාස් කරපු එක විතරයි. තමුන්ගේ කියල තොරතුරක් ඒගොල්ලො හොයාගෙන නැහැ. හැබැයි පස්සෙ මම මේ සිද්ධිය ගැන කටඋත්තර දෙන්න ගිය වෙලාවේ පූර්ව දැනුවත් කිරීමේ තොරතුර ගැන අනිත් අය කතාකරපු හැම දුරකතන වාර්තාවක්ම එතන තිබුණා. හැබැයි මම මේ ගැන කියන්න නිලධාරීන්ට ගත්ත දුරකතන වාර්තා තිබුණෙ නැහැ. ඒ කාලෙ ටෙලිකොම් ආයතනයේ හිටියෙ මෛත්‍රීපාල සිරිසේන මහත්තයගෙ එකකුස උපන් සහෝදරයා. මං ඒකාලෙ කෝල් එකක් ගත්තහම ටක් ගාල සද්දයක් එනවා. ඒ කියන්නේ ඒක ට්‍රැක් කරනවා. තවත් කාරණයක් ස්වාමීනී ඒ කාලෙ මගේ නිල නිවස ඉස්සරහ රාජ්‍ය බුද්ධි සේවයේ ඔත්තුකාරයොත් දාල තිබ්බ.

සභාපති විනිසුරු – ඔබ කාටද මේවට ඇඟිල්ල දික්කරන්නේ.

පිළිතුර – මං අඟිල්ල දික්කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයටයි ඒ හා සම්බන්ධ දේශපාලන අධිකාරියටයි. මේ වගේ සිද්ධි හින්ද මං පුදුමාකාර විදිහට විඳවල තියෙනවා. මං එහෙම විඳවන්න ඕනෙ කෙනෙක් නෙවෙයි. අන්තිමට වුණේ මාවයි හේමසිරි ප්‍රනාන්දුයි මේවට බිලිවෙච්ච එක විතරයි.
විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ප්‍රශ්නය – ජයසුන්දර මහත්තයා, හිටපු ජනාධිපතිතුමා ඔබතුමාට කිව්වලු නේද මේකෙ වගකීම භාරගත්තොත් තානාපතිකමක් දෙනව කියලා.

පිළිතුර – ඔව් ස්වාමීනී, ප්‍රහාරයෙන් පස්සෙ හරියටම අප්‍රේල් 23 වනදා එතුමා දුරකතන ඇමතුමක් දීල කිව්වා පූජිත හරියට අද රෑ අටට මාව හම්බවෙන්න පැජට් එකට එන්න කියලා. මං ඉතිං ගියා. එහිදී එතුමා මට කිව්වා පූජිත් මං එන්න කිව්වේ විශේෂ කාරණයක් කියන්න. දැන් මේ වෙච්ච සිද්ධියේ වගකීම මට ගන්න බැහැ. මට මේක පූජිත් කිව්වෙත් නෑ හේමසිරි කිව්වෙත් නෑ කියලා. ඉතිං මං බලං හිටියා එතුමා දිහා. ඔන්න එතකොටම කිව්වා පූජිත් ඔයා මේකෙ වගකීම ගන්න ඕනෙ කියලා. මං අද උදෙත් ආරක්‍ෂක කවුන්සිලයේදී ඇහුවනෙ. උඹ වචනයක්වත් කිව්වද. ඔන්න ඔහොමයි මට කතාකළේ ස්වාමීනී. එතකොට මං පොලිස්පති නිසා මට විනයක් තියෙන්න ඕනෙ කියල හිතල සද්ධ නැතුව හිටියා. ඊට පස්සෙ කිව්වා විජිත් මලල්ගොඩ කමිටුව රැස්වෙනවා. ඒකෙං මං උඹව වැරදිකරු කරනවාමයි. හැබැයි මේකෙ වගකීම භාර අරන් අයින් වෙනවා නම් කොහේහරි කමක් නෑ කැමති රටක තානාපතිකමක් දෙන්නම්. පරීක්‍ෂණ කටයුතුත් මංම වෙනස් කරලා දෙන්නම් කියලා හිටපු ජනධිපතිතුමා මට කිව්වා. ඔය විදිහටම තුන් වතාවක්ම කිව්වා.

මේ අතර කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදෙමින් හිටපු පොලිස්පතිවරයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ තවත් වැදගත් කරුණක් සම්බන්ධයෙන් හෙළිදරව්වක් කළා.
පිළිතුර – දෙහිවල පිපිරීම කරපු ජමිල් ගැන මට ආරංචි වුණු දෙයක් තියෙනවා කියන්න ස්වාමීනී. ඔය කියන පුද්ගලයා ටාඡ් එකෙන් ට්‍රොපිකල් ඉන් එකට ඇවිත් හරියටම දවල් එකයි හතලිස්පහට විතර කෙනෙක්ව හමුවෙලා තියෙනවා ස්වාමීනී. ඒ කෙනා බුද්ධි අංශ නිලධාරියෙක්. මේ හමුවීම වෙලා තියෙන්නේ වෙන කෙහෙ හරි තැනක. එතකොට ත්‍රස්තවාදී ජමිල් එක්ක බුද්ධි අංශ නිලධාරීන්ට සම්බන්ධකම් තිබ්බා නම් සහරාන් ගැන බුද්ධි අංශ නොදැන ඉන්න විදිහක් නෑනෙ ස්වාමීනී. සුදුසු පුද්ගලයො ගෙනල්ලා හෙව්වොත් සහරාන්ලා එක්ක සමීප සබඳතා තිබුණ අය ගැන එළියට ඒවි.

 

The post පාස්කු චෝදනාවෙන් බේරෙන්න මළල්ගොඩ වාර්තාවත් වෙනස් කරන්න හදපු මෛත්‍රී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG