Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා රෙදි සැපයීමේ වැඩි වගකීම දේශීය නිෂ්පාදකයන්ට  

Add comments

පාසැල් හා ආරක්ෂක නිල ඇදුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයින්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ විමසුමට ලක්වුණා.

මහා හා සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයින් ඉහළ ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් වැඩි රෙදි නිෂ්පාදන වහා ආරම්භ කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කරන්නේ.

දංකොටුව කර්මාන්ත පුරයේ දංකොටුව ටෙක්ස් ටයිල් මිල් කදාන කපුවත්ත වැන් ගාර්ඩ් ඉන්ඩ්‍රස්ටීයල් හා වත්තල ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් මිල් යන ආයතන අද පෙරවරුවේ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. පාසැල් නිල ඇදුම් සඳහා ක්‍රියාත්මක කළ කූපන් ක්‍රමයත් සමග විශාල ප්‍රාග් ධනයක් වැයකොට පටන් ගත් ආයතන කිහිපයක් වසා දැමීමට සිදුවූ බව කර්මාන්ත කරුවන් ප්‍රකාශ කළා. ඉන් විශාල පිරිසකට රැකියා අහිමි වූ බවයි පැවසුණේ.ක්‍රි යේටිව් ටෙක්ස්ටයිල් මිල් ආයතනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට පළමුව ලක්වුණා. රුපියල් මිලියන 2000 ක ආයෝජනයකින් ඇරඹු මෙම ආයතනය 2015 වසරේ සිට වසා දමා තිබුණා. කිසිදු ආදායමක් නොලැබුණද වසරකට රුපියල් මිලියන අටක බැංකු පොළියක් ගෙවීමටයි හිමිකරුට සිදුවූයේ.

ඉන්දියාව, පකිස්ථානය සහ චීනය යන රටවලින් නූල් ආනයනය කොට රෙදි නිෂ්පාදනය කිරීමෙන් ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් ආයතනය පන්සිය දෙනෙකුට රැකියා අවස්ථා සපයා දී තිබෙනවා. එහි නිෂ්පාදන ධාරිතාව දිනකට රෙදි මීටර් ලක්ෂය දක්වා වැඩි කිරීම අපේක්ෂාවයි. වාර්ෂික පාසල් නිමි ඇඳුම් අවශ්‍යතාව මීටර් මිලියන එකොළහක්. රෙදි නිෂ්පාදනය කඩිනමින් යළි ඇරඹීමට ආයතන කළමනාකාරීත්වය දිරි ගැන්වූ ජනාධිපතිතුමා ස්වයං රැකියාවක් ලෙස රෙදි නිෂ්පාදනයේ නිරත පිරිසට ද පාසැල් රෙදි සැපයුමට අවස්ථාව සැලසීම පිළිබඳ සොයා බලන්නැයි සඳහන් කළා. දේශීය රෙදි නිෂ්පාදනය වැඩි කිරීමෙන් ආනයන පිරිවැය 68% කින් ඉතිරි කර ගත හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. දේශීය රෙදි මිලට ගැනීමෙන් අධ්‍යාපන අමාත්‍යංශයට වාර්ෂිකව රුපියල් මිලියන 80 ට අධික මුදලක් ඉතිරිකරගත හැකි බවද මෙහිදී අනාවරණය වුණා. ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය සහ ජනතාව දංකොටුව කර්මාන්තපුරය ආශ්‍රිතව ඉදිරිපත් කළ ගැටළු පිළිබඳව ද ජනාධිපතිතුමා අවධානය යොමු කළා. 2015 වසරට පෙර පාසැල් නිල රෙදි අවශ්‍යතාවයෙන් 40% ක දායකත්වයක් සැපයූ කදාන කපුවත්ත වැන් ගාර්ඩ් ඉන්ඩ්‍රස්ටියල් ආයතනය මේවනවිට ඇද ඇතිරිලි සහ තුවා නිෂ්පාදනයේ නිරතව සිටිනවා. එහි සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා දේශීය වෙළඳපොළෙහි රෙදි අවශ්‍යතාවය සපුරාලීමට ධාරිතාව වැඩි කරන්නැයි ආයතන කළමනාකාරීත්වය දිරි ගැන්වූවා. තම ආයතනයට ද පාසැල් නිල ඇදුම් රෙදි අවශ්‍යතාවයෙන් 30% ක් සම්පාදනය කළ හැකි බව කළමනාකාරීත්වය මෙහිදී සඳහන් කළා.

දංකොටුව ටෙක්ස්ටයිල් මිල් ආයතනයේ ශාඛාවක් වන වත්තල ක්ලිප්ටෙක්ස් ටෙක්ස්ටයිල් මිල් ආයතනය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක්වුණා. ත්‍රිවිධ හමුදාවේ නිල ඇඳුම් සදහා අවශ්‍ය රෙදි මෙහි නිෂ්පාදනය කෙරෙනවා. 1500 ක පමණ සේවක පිරිසක් සේවයට එක්ව සිටින මෙම ආයතනයේ මූලික කාර්යය ආරක්ෂක අංශවලට අවශ්‍ය පරිදි රෙදි වර්ණ ගැන්වීමයි. ආනයනික රෙදි පරීක්ෂා නොකෙරෙන අතර දේශීය රෙදි නිෂ්පාදන පරීක්ෂණවලට යොමු කිරීමේදී විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව කළමනාකාරීත්වය ජනාධිපතිතුමා හමුවේ ප්‍රකාශ කළා. රෙදි සෝදන කුඩු වර්ග නිසි නියාමනයකට ලක් නොවන බව පෙන්වා දුන් ඔවුන් එමගින් රෙදිවල වර්ණයට විශාල හානියක් සිදුවන බවද මෙහිදී සඳහන් කළා. රජය දේශීය කර්මාන්තකරුවන්ට දෙන සහන ප්‍රයෝජනයට ගෙන දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ දිනා ගැනීමට උත්සුක වන්නැයි ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. ජාතික සහ බෞද්ධ කොඩි ආනයනය වහා නතර කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඉල්ලුමට අවශ්‍ය නිෂ්පාදන දේශීයව සැපයීමට පියවර ගන්නා ලෙසද දැනුම් දුන්නා. අමාත්‍ය විමල් වීරවංශ මහතා ද මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටියා.

 

 

The post පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා රෙදි සැපයීමේ වැඩි වගකීම දේශීය නිෂ්පාදකයන්ට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG