Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ප්‍රහාරය වළැක්විය නොහැකි වූයේ රාජකාරි පැහැර හැරීමක් නිසා නොවෙයි – හිටපු බුද්ධි ප්‍රධානී  

Add comments

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ තම රාජකාරි පැහැර හැරීමක් නිසා යැයි තමන් පිළිනොගන්නා බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා ප්‍රකාශ කළා.

එම ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වූයේ පොලිස්පතිවරයා ප්‍රමුඛ පොලීසියත් ත්‍රස්ත විමර්ශන ඒකකය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට අසමත්වීම නිසා යැයි පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා කොමිසම හමුවේ ඊයේ සාක්‍ෂි ලබාදුන්නේ හයවන දිනටයි. රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සාක්‍ෂිකරුගෙන් විමසා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විදෙස් බුද්ධි අංශයකින් කළ පූර්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ජාතික බුද්ධි ප්‍රධානියා වූ ඔබට යොමුකළ ලිපිය පොලිස්පතිවරයාට යොමු කළේ ද යන්නයි. එම තොරතුරෙහි සහරාන් හෂීම් ඇතුළු ත්‍රස්ත කණ්ඩායමේ ඉලක්ක බවට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හා වැදගත් පල්ලි පත්විය හැකි බව සඳහන්ව තිබූ හෙයින් එය පොලිස්පතිවරයාට දැන්වීම වැදගත් යැයි සළකා ලිපිය නිලධාරියෙකු අතින්ම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට යොමුකළ බව ඔහු ඊට පිළිතුරු ලබාදෙමින් කියාසිටියා. මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර අප්‍රේල් 19 වනදා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබට දුරකතන ඇමතුමක් ලබාගත්තේ ද යන්නයි. 19 වනදා නිලන්ත ජයවර්ධන මහතා තමන් අමතා සර් පිපිරීමක් වෙලා තියෙනවා යැයි පැවසූ අතර කොහෙද කියා විමසූ විට කාත්තන්කුඩියේ යැයි පිළිතුරු දුන් බවද සිසිර මෙන්ඩිස් මහතා කියාසිටියා.

කොමිසම මෙහිදී විමසා සිටියේ අදාළ පිපිරීමට සහරාන් හෂීම් සම්බන්ධ යැයි එහිදී ප්‍රකාශ කළේ ද යන්නයි. එහෙම සම්බන්ධයක් ගැන කිව්වේ නැහැ යනුවෙන් සිසිර මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු ලබාදුන්නා. ඔබගේ බිරිඳ කතෝලික බැතිමතෙකු වනවා. ඉකුත් අප්‍රේල් 20 වනදා පස්වරුවේ දේවමෙහෙයක් සඳහා දේවස්ථානයට ගියාද යනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය සිසිර මෙන්ඩිස් මහතාගෙන් ප්‍රශ්නකර සිටියා. පොලිස්පතිවරයාට බුද්ධි තොරතුර සම්බන්ධයෙන් දැනුම්දී තිබූ හෙයින් ඔහු ආරක්‍ෂක පියවර ගන්නට ඇතැයි සිතූ නිසාත් තම බිරිඳ බුද්ධි තොරතුරු කිසිවක් නොදැන සිටි නිසාත් අප්‍රේල් 20 වනදා පස්වරුවේ ප්‍රදේශයේ දේවස්ථානයකට ගිය බවයි ඊට පිළිතුරු දෙමින් මෙන්ඩිස් මහතා කියාසිටියේ. සාක්‍ෂිකරුගෙන් හරස් ප්‍රශ්න ඇසීමේ අවස්ථාව නොතීසි නිකුත්කර ඇති පාර්ශ්වයන්ට ලබාදුන්න ද ඇතැම් පාර්ශ්ව කොමිසම් ශාලාව තුළ රැඳී නොසිටීම සභාපති විනිසුරුවරයාගේ දැඩි අප්‍රසාදයට ලක්වුණා. එම පාර්ශ්වවල නීතීඥවරුන්ට සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්‍ෂි විමසිය හැකි අවසාන දිනය බ්‍රහස්පතින්දා බවයි කොමිසමේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේ.

කොමිසම් ශාලාව තුළ ප්‍රශ්න ඇසීම සඳහා ඉදිරිපත්වූ එකම නීතීඥවරයා වූයේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතීඥ ශමිල් පෙරේරා මහතායි. ඔහු සිසිර මෙන්ඩිස් මහතාගෙන් විමසා සිටියේ අප්‍රේල් 8 වනදා ඔබට යොමුකළ ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුවත් කිරීමේ බුද්ධි තොරතුර අනෙකුත් ආරක්‍ෂක අංශ සමඟ බෙදා නොගත්තේ මන්ද යන්නයි. අදාළ තොරතුර නිලන්ත ජයවර්ධන මහතා අප්‍රේල් 9 බුද්ධි සම්බන්ධීකරණ රැස්වීමේ දී සාකච්ඡාවට ගනීවි යැයි බලාපොරොත්තු වුවද ඔහු එය සාකච්ඡාවට නොගත් හෙයින් එම තොරතුර අනෙකුත් ආරක්‍ෂක අංශ වෙත බෙදාහැරීමට තමන් කටයුතු නොකළ බව සිසිර මෙන්ඩිස් මහතා ඊට පිළිතුරු දෙමින් කියාසිටියා. අදාළ තොරතුර පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් නොකළේ මන්දැයි ජනාධිපති නීතිඥවරයා මෙහිදී යළි පෙරළා ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දෙමින් සිසිර මෙන්ඩිස් මහතා කියාසිටියේ මම වාර්තාකරන ඉහළම නිලධාරියා ආරක්‍ෂක ලේකම්වරයායි. එතනින් එහාට මට යන්න බෑ. මම කවදාවත් ජනාධිපතිවරයාට කතා කරලා නැහැ යනුවෙනුයි.

The post පාස්කු ප්‍රහාරය වළැක්විය නොහැකි වූයේ රාජකාරි පැහැර හැරීමක් නිසා නොවෙයි – හිටපු බුද්ධි ප්‍රධානී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG