Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝකයා හමුවේ රටේ ස්වාධීනත්වයත්, ස්වෛරීභාවයත්, භෞමික අඛණ්ඩතාවත් කැප කරන්න සූදානම් නැහැ – ජනපති පොම්පියෝට කියයි  

Add comments

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට නොපැකිලිව උදව් කිරීමට සූදානම් බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ ප්‍රතිඥා දුන්නා.

මෙහිදී ජනාධිපතිතුමා කියා සිටියේ විදේශ සබදතාවල දී රටේ ස්වාධීනත්වයට හා ස්වෛරීභාවයට මුල් තැන  දෙන බවයි.

නිල සංචාරයක් සදහා ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා දිවයිනට පැමිණියේ ඊයේ (27) රාත්‍රියේදීයි. ඒ සිය ආසියා සංචාරය අතරතුරයි. ඒ මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව අද (28) සිදු වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයී. දෙපාර්ශ්වය අතර සුහද සාකච්ඡාවේ දී ද්වීපාර්ශවික හා කලාපීය වැදගත්කමක් සහිත ක්ෂේත්‍ර ගණනාවක් පිළිබද අදහස් හුවමාරු වුණා. ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සදහා ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ සහයෝගයෙන් ක්‍රියා කිරීමට සූදානම් බව මයික් පොම්පියෝ මහතා මෙහිදී ප්‍රකාශ කළා.

දෙරට අතර දැනටමත් පවත්නා ශක්තිමත් සබදතා තවදුරටත් වර්ධනය කර ගැනීම අරමුණ බවයි ඒ මහතා පැවසුවේ. ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකා ආයෝජන ප්‍රවර්ධනයට ඉහළ ප්‍රමුඛතාවක් ලබා දෙන බවද පොම්පියෝ මහතා පැවසුවා. සංචාරක ව්‍යාපාරය,  රැකියා සහ විනිමය ආදායම් උත්පාදනයට ඉවහල්වන ප්‍රධාන ක්ෂේත්‍රයක්. විධිමත් සැලැස්මක් යටතේ එහි දියුණුවට අත දීමට සූදානම් බවයි රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ. ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව නොකඩවා ණය ගැනීම නොව විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමෙන් ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීම බව ජනාධිපතිතුමා එහිදී පැවසුවා. විදේශ ආයෝජනයට බාධා කරන නිලධාරීවාදී පටිපාටි වෙනස් කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇතිකර ගැනීමට අවශ්‍ය සාධක සහිත රටක්. අපේ කෘෂි ක්ෂේත්‍රය නවීකරණය කළ යුතුයි. ඒ සදහා විද්‍යාත්මක පර්යේෂණ අවශ්‍යයි. ඊට උදව් කරන්න යැයි ජනාධිපතිතුමා ඉල්ලා සිටියා. ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය  මධ්‍යස්ථ භාවය මත පදනම්ව ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ශ්‍රි ලංකාව සෙසු රාජ්‍යයන් සමග පවත්නා සබදතා සාධක කිහිපයක් අනුව තීරණය වනවා.  ඓතිහාසික හා සංස්කෘතික සබදතා හා සංවර්ධන සහයෝගීතාව ඒ අතර ප්‍රමුඛතාව ගන්නවා. ජාත්‍යන්තර සබදතාවලදී රටේ ස්වාධීනත්වය ස්වෛරීභාවය හා  භෞමික අඛණ්ඩතාව කැප කිරීමට තමන් කිසිවිටෙකත් සුදානම් නැති බවයි ජනාධිපතිතුමා පැවසුවේ.

බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමෙන් පසු රටේ යටිතල පහසුකම් සංවර්ධනයට චීනය උදව් කළ බව පැවසු ජනාධිපතිතුමා එහි ප්‍රතිපලයක් ලෙස ශ්‍රී ලංකාව ණය උගුලක සිරවූයේ නැති බවද අවධාරණය කළා. ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර දිගුකළක සිට පවත්නා ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට මෙහිදී එකගතාව පළවුණා. මෙරට හමුදා සාමාජිකයන්ට ඇමෙරිකාවෙන් ලැබෙන පුහුණු අවස්ථා සහ ද්‍රව්‍යමය ආධාර ඊට අයත්. මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය සදහා වෙරළාරක්ෂක සේවා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළා. ඊට සහාය වීමට ඇමෙරිකාවට හැකි බවයි පොම්පියෝ මහතා ප්‍රකාශ කළේ. ඉන්දීය සාගරය සාම කලාපයක් ලෙස පවතිනු දැකීම ඇමෙරිකාවේ අපේක්ෂාවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මිත්‍රශීලි සබදතා ගැනද රාජ්‍ය ලේකම්වරයාගේ සතුට පළ කෙරුණා. ඉන්දීය සාගරයේ සාමය පවතිනු දැකීම ශ්‍රී ලංකාවේද අරමුණ බවයි ජනාධිපතිතුමා මෙහිදී පැවසුවේ. ජාත්‍යන්තර වේදිකාවල දී මානව හිමිකම් සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කිරීමට ද දෙපාර්ශ්වය මෙහිදී එකග වුණා. දෙරටේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකුම මෙම හමුවට එක්ව සිටියා.

මේ අතර ඇමෙරිකා  රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ  මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද හමුවී සාකච්ඡා කළා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි. ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයාගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් ද පැවැත්වුණා.

 

 

 

 

 

 

 

 

The post ලෝකයා හමුවේ රටේ ස්වාධීනත්වයත්, ස්වෛරීභාවයත්, භෞමික අඛණ්ඩතාවත් කැප කරන්න සූදානම් නැහැ – ජනපති පොම්පියෝට කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG