යහපාලන සමයේ පිහිටු වූ පොලිස් මූල්‍ය අපාරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශනවලට එවකට ප්‍රධාන පෙලේ දේශපාලනඥයන්ගෙන් බලපෑම් එල්ල වූ බව එහි හිටපු ප්‍රධානී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා පවසනවා.
රාජපක්ෂවරුන්ට එරෙහි විමර්ශනවලට අදාළව ඔවුන් අත්අඩංගුවට ගැනීමට බලපෑම් කළ ප්‍රබලයින්ගේ නම් ඇතුළත් රහස්‍ය ලිපියක් දේශපාලන පලිගැනීම පිලිබද සොයා බලන ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවට ලබා දෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා වගඋත්තරකරුවකු කරමින් ඉදිරිපත්ව තිබෙන පැමිණිලි කිහිපයකට අදාළව ඒ මහතා කොමිසම හමුවේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. තමන් ලබාදුන් ලේඛනයෙහි නම් සදහන් පිරිස් සන්නාහ සන්නද්ධව සිටින බවත් ඒ පිළිබද හෙළි කළහොත් ජීවිත තර්ජන ඇති විය හැකි බවත් ඔහු පැවසුවා. 2009 වසරේ පුවත්පත් සාකච්ඡාවකදී සතියකට වරක් හෝ රාජපක්ෂවරයකු අත්අඩංගුවට ගත යුතු බවට අමාත්‍යවරයකු ප්‍රකාශ කළ බව රවී වෛද්‍යාලංකාර මහතා සදහන් කර තිබුණා. පොලිස් සේවයේ යෙදි සිටි සමයේ එවැනි අනාවරණයක් සිදු නොකළේ මන්දැයි විමසූවිට ඔහු පැවසුවේ නීතිමය වශයෙන් තමාට එවැන්නක් කළ නොහැකි වූ බවයි. එවකට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වන අසාධරණය පිළිබදව නිහඩව සිටීම සුදුසු නොවන බව වැටහී ගියා. එම නිසා සාක්ෂි නොමැතිව ඔහු අත්අඩංගුවට ගැනීමට තමා කටයුතු නොකළ බව ද වෛද්‍යාලංකාර මහතා සදහන් කළා.
එෆ්සීඅයිඩීයේ සිටියදී තමා දැඩි මානසික පීඩනයකට හා දේශපාලන බලපෑමකට ලක් වූ බවත් එවැනි ඉරණමක් කිසිදු රාජ්‍ය සේවකයකුට අත්නොවිය යුතු බවත් ඔහු කියා සිටියා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ වීඩියෝ පටයක් කොමිසම හමුවේ වාදනය කෙරුණා. නිලමේවරයෙකු අත්අඩංගුවට නොගන්නා ලෙස එෆ්.සී.අයි.ඩීයේ ප්‍රධානියාට දැනුම් දී ඇති බවට පූජිත් ජයසුන්දර මහතා දුරකතනය ඔස්සේ තවත් අයෙකුට පවසන ආකාරය එහි දැක්වුණා.
සභාපති විනිසුරු- තමන් නිලමෙට මොකද කළේ?
සාක්ෂිකරු – අත්අඩංගුවට ගත්තේ නැහැ.
සභාපති විනිසුරු- අත්අඩංගුවට ගන්න එපා කියපු අය ගත්තේ නැහැ වගේම අත්අඩංගුවට ගන්න කියපු අයත් අත්අඩංගුවට ගන්න ඇති නේද?
සාක්ෂිකරු – ප්‍රශ්නගත තත්ත්වයන් නිසා නීතිපතිගෙන් අහලයි අත්අඩංගුවට ගත්තේ.
අරලියගහ මන්දිරයේ පවත්වන ලද රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, චම්පික රණවක, මලික් සමරවික්‍රම සහ අනුර කුමාර සහභාගී වූ රැස්වීම් සදහා තමා ද සහභාගී වූ බව සාක්ෂිකරු පිළිගත්තා. රවී වෛද්‍යාලංකාර මහතාගේ සාකච්ඡාවක් ඇතුලත් රූපවාහිනී වීඩියෝ පටයක් කොමිසම හමුවේ වාදනය කෙරුණා. එහදී ඔහු ප්‍රකාශ කළේ එෆ්සීඅයිඩීය විභාග කළේ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය හරහා ලැබෙන පැමිණිලි පමණක් බවයි. පසුව වෛද්‍යලාංකාර මහතා සදහන් කළේ එම සාකච්ඡාවේදී වරදක් සිදු වූ බවත් වෙනත් ආකාරවලින් ලැබෙන පැමිණිලිද විභාගයට ගත් බවයි. එවිට සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ ඔබ එදා මාධ්‍යයට කියපු දේ ද අසත්‍ය? අද කියන දේද? යනුවෙන්. දිවුරුමක් යටතේ අද කොමිසම හමුවේ කියන දේ සත්‍ය බව සාක්ෂිකරු පැවසුවා. වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙනුවෙන් පෙනීසිටි නීතීඥ සෙනරත් ජයසුන්දර මහතා වගඋත්තකරුගෙන් විමසූවේ විමර්ශන සම්බන්ධයෙන් දේශපාලන කණ්ඩායම් ඉදිරියේ කරුණු පැහැදිලි කර තිබෙනවාද යන්නයි. වෛද්‍යාලංකාර මහතා ප්‍රථමයෙන් එය ප්‍රතික්ෂේප කළා. එහෙත් ලේඛණ පෙන්වමින් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔහු සදහන් කළේ දිවිනැගුම විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී කමිටුව හමුවේ යම් අදහස් පල කිරීමක් සිදු කළ බවයි. ඒ පිලිබදව ලේඛනවලින් තහවරු වන බව නීතිඥවරයා කොමිසම හමුවේ අනාවරණය කළා. මිග් යානා ගණුදෙනු සම්බන්ධ විමර්ශනයේදී ගෝඨාභය රාපක්ෂ මහතාගේ සම්බන්ධයක් නැති බව අනාවරණය වූ බවත් එබැවින් මාධ්‍යයට ඒ පිළිබද කරුණු ඉදිරිපත් කළ බවත් රවී වෛද්‍යලංකාර මහතා සදහන් කළා.
සභාපති විනිසුරු – කොමිසන් සභාවට ඉදිරිපත් වෙලා තිබෙන සාක්ෂිවලින් එෆ්සීඅයිඩීයෙන් කරපු හැම පරික්ෂණයකම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සදහන් කරන ලෙස පැමිණිලිකරුවන්ට බලපෑම් කර ඇති බවට කොමිසම හමුවේ කරුණු අනාවරණය වී තිබෙනවා.
සාක්ෂිකරු – ප්‍රතික්ෂේප කරනවා. එහෙම කිසිම බලපෑමක් අපි කරලා නැහැ.
ආර්ථික සංවර්ධන අමාතයාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කරගනිමින් එෆ්සීඅයිඩියේ නිලධාරින් තමාගෙන් ප්‍රශ්න කළ බවයි. ඔවුන් පක්ෂග්‍රාහීව කටයුතු කළ බවත් 2015 අප්‍රේල් 22 වනදා තමන් අත්අඩංගුවට ගත් බවත් ඔහු ප්‍රකාශ කළා.
The post FCIDයට යහපාලන දේශපාලනඥයන්ගෙන් දැඩි බලපෑම් ආවා – හිටපු DIG රවී හෙළි කරයි appeared first on ITN News.
Post a Comment