ශ්‍රී ලංකාව කෝවිඩ් නයින්ටීන් වසංගතය මැඩලීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ලෝක බැංකුවේ ශ්‍රී ලංකා, මාලදිවයින් හා නේපාල අධ්‍යක්‍ෂ ෆාරිස් හඩාඩ් සෙර්වෝස් මහතාගේ විශේෂ ඇගයීමට ලක්වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මුණ ගැසුණු අවස්ථාවේදීයි ඒ මහතා මේ බව සදහන් කළේ.
වසංගත තත්ත්වය පාලනය කිරීමේදී දැක්වූ සාර්ථකත්වය මෙන්ම පසුගිය මහ මැතිවරණයේදී ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝක බැංකු අධ්‍යක්‍ෂවරයා අග්‍රාමාත්‍යවරයා වෙත සුබාශිංසන පළ කළා. පවතින වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලංකාව ඉතා ඉක්මණින් මිදෙනු ඇතැයි තමා අපේක්‍ෂා කරන බව ද ඔහු පැවසුවා. ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය හමුවේ පළමුවෙන්ම ආධාර සැපයූ නියෝජිත ආයතනය බවට පත්වූයේ ලෝක බැංකුවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය, මහා මාර්ග ඉදිකිරීම, පානීය ජලය, සනීපාරක්‍ෂාව හා කෘෂිකර්මාන්තය වර්ධනය කිරීම සදහා ප්‍රමුඛත්වය ලබා දී කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළා. අගය එක් කළ නිෂ්පාදන බිහි කිරීමෙන් හා ඒවා ජාත්‍යන්තර වශයෙන් අලෙවි කිරීමෙන් ගොවි ජනතාව සවිබල ගැන්වීමට ඇති හැකියාව පිළිබද දෙපාර්ශ්වයේ දූත පිරිස් මෙහිදී අදහස් හුවමාරු කර ගත්තා.
ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන සදහා ලෝක වෙළෙදපොළේ ඉහළ ඉල්ලුමක් ඇති බවයි ලෝක බැංකු අධ්‍යක්‍ෂවරයා සදහන් කළේ. මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය කිරීම සදහා ගත හැකි ක්‍රියාමාර්ග ද මෙහිදි පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා. චිත්‍රපට සංචාරක ක්ෂේත්‍රය පිළිබද ලෝක බැංකු නියෝජිත කණ්ඩායම මතු කළ අදහස්වලට ප්‍රතිචාර දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කියාසිටියේ රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය එහි ආරම්භක පියවරක් ලෙස ක්‍රියාවට නැංවූ බවයි.
The post කොරෝනාවට එරෙහි ශ්‍රී ලංකා මෙහෙයුමට ලෝක බැංකුවෙන් ප්‍රසාදය appeared first on ITN News.
Post a Comment