Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට  

Add comments

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබද සොයා බැලීමට පත් කළ කමිටුවේ පූර්ණ වාර්තාව අධිකරණ අමාත්‍යවරයා වෙත අද භාර දුන්නා. මේ අතර මෙම ගැටුමෙන් මියගිය තවත් රැදවූවන් 4 දෙනෙකුගේ සිරුරු ආදාහනය කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර ලබා දුන්නා.  මෙම සිරුරු කෝවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජයේ වියදමින් ආදාහනය කරන ලෙසයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝග කළේ.

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් ඇති වුණේ පසුගිය නොවැම්ර් 29 වනදායි. සිද්ධිය පිළිබද සොයා බැලීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එදිනම කමිටුවක් පත් කළා. එහි වාර්තාව මසකින් ලබාදෙන ලෙසයි දැනුම් දී තිබුණේ. ඒ අනුව අදාළ වාර්තාව එහි සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය අමාත්‍යවරයා වෙත අද භාර දුන්නා. කමිටුවේ සෙසු සාමාජිකයන් වන ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා, අමත්‍යාංශ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ආර් එල් රණවීර යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්වුණා. මෙහිදී අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ බන්ධනාගාර තදබදය අවම කිරිම ඇතුළු පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති බවයි.

මේ අතර මහර බන්ධනාගාර ගැටුම පිළිබද නඩුව වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද විභාගයට ගත්තා. ඒ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය ගොනු කර තිබූ මෝසමකට අනුවයි. සිද්ධියෙන් මියගිය කොරෝනා ආසාදිත නොවූ රැදවියන් තුන් දෙනෙකුගේ පශ්චාත් මරණ පරික්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රගතිය ලබන 08 වනදා අධිකරණයට වාර්තාකරන ලෙසයි මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පංච පුද්ගල විද්වත් කමිටුවට නියෝග කළේ. සිද්ධිය පිළිබද පරික්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලීසියට ද නියෝග කළා. අවශ්‍ය වුවහොත් අමාත්‍ය විමල් වීරවංශ හා රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා ලෙස ද රහස් පොලීසියට නියෝග කළා. ඒ විමල් වීරවංශ මහතා සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කර ඇති අදහස් දැක්වීම් පිළිබද ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුවයි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපති සම්බන්ධීකාරක රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය පෙනී සිටියා.

 

The post මහර බන්ධනාගාර සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාව අධිකරණ ඇමතිට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG