කොවිඩ් නිසා අසරණව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් වැය කොට ගෙන්වා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස කෝප් කමිටුව එම කාර්යාංශයට දැනුම් දුන්නා.
විදේශ රැකියා කේෂ්ත්‍රයේ වත්මන් තත්ත්වය අධ්‍යනය කිරීම සදහා වූ විශේෂ විගණන වාර්තාව විමර්ශනය සදහා කෝප් කමිටුව රැස් වුණා. ඒ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 14 ක්. එම මුදල් යොදවා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බව කාර්යාංශයේ සභාපතිවරයා කෝප් කමිටුව හමුවේ පැවසුවා.
මැදපෙරදිග තෙල් මිල පහල යාම හා කොවිඩ් නිසා රැකියා අහිමි වූ ශ්‍රී ලාංකිකයන් 24721 දෙනෙකු තමන් දිවයිනට ගෙන්වා ගන්නා ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනටමත් ඉල්ලා තිබෙනවා. 2019 වසර සදහා පමණක් විදෙස් තානාපති කාර්යාලවල ලාංකික නිලධාරීන් සදහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 800 ක්. එතරම් විශාල මුදලක් වැයකොට නඩත්තු කරන සේවක පිරිසගෙන් අපේක්ෂිත සේවා ඉටු වනවාද යන්න සොයා බැලිය යුතු බව කෝප් කමිටුව නිලධාරීන්ට දැනුම් දුන්නා. වත්මන් රැකියා අවශ්‍යතාවන්ට අනුව පුහුණු අවශ්‍යතා හදුනා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතුයි. ඒ සදහා ඉදිරි අවුරුදු පහ වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ද කෝප් කමිටුව දැනුම් දුන්නා.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් විදේශ රටවලට යැවීමේ දී ඔවුන්‌ගේ ආරක්ෂාව සහ රැකියාවේ සුරක්ෂිතභාවය තහවුරු කර හැකි නව රක්ෂණ ක්‍රමයක් ආරම්භ කිරීම වැදගත් වනවා. එහි විදේශ ශ්‍රමිකයන්ගේ මානවීය අවශ්‍යතා ආරක්ෂාව සහ සුබ සාධනය තහවුරු කිරීම සදහා විදේශ අමාත්‍යංශය සමග එක්ව මීට වඩා වගකීමකින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ක්‍රියා කළ යුතු බවයි කෝප් කමිටුව අවධාරණය කළේ.
විදේශ රටවල තානාපති කාර්යාලවල සේවය සදහා පසුගිය කාලයේ විධිමත් ක්‍රමවේදයක් අනුගමනය නොකිරීම නිසා විවිධ අක්‍රමිකතා සිදුව තිබෙනවා. ඒ අනුව සුදුසු බදවා ගැනීමේ පටිපාටියක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරවා ගන්නා ලෙස ද කෝප් කමිටුව අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන්නා.
The post විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අරමුදල් වැය කොට විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම පිළිබඳ අවධානය appeared first on ITN News.
Post a Comment