ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ මැදින් පුර පසළොස්වක පෝය අදයි. දිවයින පුරා වෙහෙර විහාරස්ථාන වල ඒ වෙනුවෙන් ආගමික වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.
සංසාර බැදීමෙන් තම ඥාතීන් මුදා ගැනීමේ උතුම් අරමුණ පෙරදැරි කරගනිමින් බුදුරජාණන් වහන්සේ පළමුවරට රජගහ නුවර සිට කිඹුල්වත් නුවරට වැඩම කලේ අද වැනි මැදින් පුර පසළොස්වක පොහෝ දිනකයි. එම ගමනට රහතන් වහන්සේ විසිදහසක් සහභාගී වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. බුදුන් වහන්සේ කිඹුල්වත්නුවරට වැඩම කරවා ගැනීමට ශුද්ධෝදන රජතුමා දහස බැගින් පිරිස් නව වතාවක් බුදුන් හමුවට යැවූ අතර එම සියලු දෙනා දහම් අවබෝධය ලබා සසුනට ඇතුළත් වුණා. අවසන් වරට යැවූ කාලුදායි ඇමතිවරයා ඇතුළු දහසක පිරිසද පැවිදි වී ශුද්ධෝදන රජුගේ ඉල්ලීම බුදුරදුන්ට දැන්වීමෙන් අනතුරුව උන් වහන්සේගේ කිඹුල්වත්පුර ගමන සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. ශාක්‍යයන්ගේ මානය බිදීමට බුදුරජාණන් වහන්සේ මෙහිදී යමාමහ පෙළහර පෑ බවද සඳහන්. බුදුන්වහන්සේ දේශනාකළ වෙස්සන්තර ජාතකය ශ්‍රවණය කළ ශාක්‍යය වංශකයින් ධර්මාවබෝධය ලබාගත් බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. සත්හැවිරිදි රාහුල කුමරු පැවිදිකරවීම හා මහා ප්‍රජාපතී ගෝතමිය සෝවාන්ඵලයට පත්වීම ද අද වැනි මැදින්පුර පෙහෝ දිනයේ සිදු වූ බව සඳහන්.
ස්වාධීන රූපවාහිනිය සෑම පුන් පොහෝ දිනකම ගෙන එන සවනක් රැස් සජීව වැඩසටහන මෙවර ගෙන එනු ලබන්නේ ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාරස්ථානයේ සිටයි.
විහාරාධිපති පූජ්‍ය කෝම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි එම කටයුතු සිදු කෙරෙනවා.
ලක්හඩ ගුවන්විදුලියේ මූලිකත්වයෙන් සෑම පොහෝ දිනකම ගෙනඑනු ලබන ශාසනාලෝක වැඩසටහන ද පැවැත්වුණේ ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාරස්ථානය කේන්ද්‍රකරගෙනයි. සාමනේර භික්ෂූන් වහන්සේට දහම් පොත් කට්ටල පූජා කිරීම හා උන්වහන්සේගේ දෙමව්පියන්ට උපහාර දැක්වීම ද මෙහිදී සිදු වුණා.
The post මැදින් පුර පසළොස්වක පොහොය අදයි appeared first on ITN News.
Post a Comment