Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සංචරණ සීමා අතරේ අත්‍යවශ්‍ය දෑ බෙදා හැරීමේ කටයුතු ජංගම රථ මඟින්  

Add comments

සංචරණ සීමා ක්‍රියාත්මක වන අතරේ ජනතාවට අත්‍යවශ්‍ය දෑ බෙදා හැරීමේ කටයුතු ද සාර්ථකව සිදුවනවා.

බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය වෙළෙද කටයුතු සදහා 2 වන දිනටත් අද විවෘතව පවතිනවා. ඊයේ දිනයට වඩා ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් අද පැමිණි බවයි බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙද සංගමය සදහන් කරන්නේ. ව්‍යාපාරිකයන්ට හා පාරිභෝගිකයන්ට ඔන් ලයින් ක්‍රමයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ද අවස්ථාව සලසා දී තිබෙනවා.

පාරිභෝගිකයන් සූරාකෑම වැළැක්වීම සදහා ආර්ථික මධ්‍යස්ථානවල එළවළු හා පළතුරු මිල ගණන් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසනවා. නුවරඑළිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළ සංචාරයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට ද විශාල වශයෙන් ගොවීන් හා ව්‍යාපාරිකයන් පැමිණෙමින් සිටිනවා. ඊයේ දිනයේදී කෙසෙල් විශාල වශයෙන් මෙම ආර්ථික මධ්‍යස්ථානයට ලැබී තිබෙනවා.

ග්‍රාමීය ප්‍රදේශවලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම මේ වන විට සිදුවනවා. බලපත්‍ර ලබාගත් කුඩා ව්‍යාපාරිකයන් නිවෙස් අසලටම ගොස් මේවා අලෙවි කරන බවයි අප වාර්තාකරුවන් පවසන්නේ.

වව්නියාවේ ග්‍රාම නිලධාරී වසම් 102 ක ගම්මාන 505 ක ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා එළවළු, පළතුරු ආදිය අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. සංචරණ සීමා පැනවීම හේතුවෙන් ජනතාවට වෙළෙදසල් කරා යාමට නොහැකි බැවින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වනවා.

ජංගම රථ මගින් තම නිවෙස් ඉදිරිපිටටම මෙසේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීම

තමන්ට මහත් සහනයක් බවයි ජනතාව පවසන්නේ.

කුරුණෑගලදී මත්කුඩු අලෙවි කරමින් සිටි යුවළක් පොලීසිය අත්අඩංගුවට ගත්තා. සංචරණ සීමා පනවා තිබුණ ද යතුරුපැදිවලින් ගොස් මොවුන් මෙසේ මත්කුඩු අලෙවිකර තිබෙනවා. එමෙන්ම හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 5140 ක් හා සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් 3 දෙනෙකු ද පොලීසිය අත්අඩංගුවට ගත්තා. සැකකාර තරුණිය ළග තිබී තවත් හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 2430 ක් සිය භාරයට ගැනීමට පොලීසියට හැකිවුණා.

මඩකලපුව කිරාන්කුලම් ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මත්පැන් වෙළෙදාමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා. සංචරණ තහනම පිළිබද නීතිය ද නොසලකා හරිමින් ක්‍රියා කළ මෙම පුද්ගලයන් ළග තිබි මත්පැන් බෝතල් 1271 ක් සොයාගෙන තිබෙනවා.

අක්කරේපත්තුව සිට කොළඹ බලා පුද්ගලයන් 48 දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඉගිනියාගල නාමල්උයන ප්‍රදේශයේදී පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා. එහි රියදුරු හා කොන්දොස්තරවරයා ද අත්අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු පවසන්නේ.

නිරෝධායන නීති උල්ලංඝනය කරන ඕනෑම අයෙකු අත්අඩංගුවට ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අවධාරණය කරනවා.

 

The post සංචරණ සීමා අතරේ අත්‍යවශ්‍ය දෑ බෙදා හැරීමේ කටයුතු ජංගම රථ මඟින් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG