Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 4 දෙනා දවස් 14 කට රිමාන්ඩ්  

Add comments

දැරිය මියයාමේ සිද්ධියට අදාළව හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිද ඇතුළු සැකකරුවන් 4 දෙනා ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන්න අධිකරණය අද නියෝග කළා.

ඒසේම දැරියගේ මිහිදන්කරපු මෘත දේහය ගොඩ අරගෙන පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කරන ලෙස  අධිකරණය නියම කර තිබෙනවා.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවයේ නිරතව සිටිය දී 16 හැවිරිදි දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බදියුදීන්ගේ බිරිද, ඇයගේ සොහොයුරා, මාමණ්ඩිය සහ තැරැව්කරු අද දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මෙම දැරියගේ සිරුර යළි ගොඩගෙන නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සදහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය දැරියගේ මෘත දේහය ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නව පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නියෝග කළා. දැරිය පිළිස්සීමට ලක්ව රෝහල් ගතකළ අවස්ථාවේ සත්‍ය කරුණු හිතාමතාම වසන් කිරීමට බදියුදීන්ගේ මාමණ්ඩිය ක්‍රියාකර ඇති ආකාරය පෙනීයන බවයි අධිකරණය කියාසිටියේ.

ඒ අනුව සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ද අධිකරණය ප්‍රතික්ෂේප කළා. සැකකරුවන් සමාජයේ යම් පිළිගැනීමක් සහිත පුද්ගලයින් සමග සබදතා පවතින බැවින් ඔවුන් ඇප මත මුදාහැරිය හොත් සාක්ෂිවලට බලපෑම් කිරීම, සාක්ෂි අතුරුදන් කිරීම හෝ සාක්ෂි විනාශ කිරීමට හැකියාවක් පවතින හෙයින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ වැඩිදුරටත් කියාසිටියේ දැරිය පිළිස්සීමට ලක්වූ නිවසේ ගෘහ මූලිකයා ලෙස රිෂාඩ් බදියුදීන් මහතා ක්‍රියාකර ඇති බැවින් සැකකරුවෙකු ලෙස ඔහුද අධිකරණයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර දැරියගේ දෙමව්පියන් මානව හිමිකම් කොමිසමට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

පොලීසියට ලැබුණු විද්‍යාත්මක පර්යේෂණීය සහ තාක්ෂණික සාක්ෂි ඔස්සේ විමර්ශන අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලීසිය සදහන් කරන්නේ. දැරිය සිටි නිවසේ කාමරයේ තිබී හමුවූ දැවී පිළිස්සී ගිය කොටස් රජයේ රස පරීක්ෂක වෙත භාරදී තිබෙනවා. විද්‍යාත්මක හා තාක්ෂණික සහාය ලබාගෙන සියලු පරීක්ෂණ සිදුකෙරෙන අතර අපරාධයට එරෙහි සියලු විද්‍යාත්මක සාක්ෂි අනාවරණය කර ගැනීම අරමුණ බවයි පොලීසිය ප්‍රකාශ කළේ. සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන්ට තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

The post රිෂාඩ්ගේ බිරිඳ ඇතුළු සැකකරුවන් 4 දෙනා දවස් 14 කට රිමාන්ඩ් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG