පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියගේ මිහිදන් කළ දේහය අද ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා.
මේ අතර දැරිය පදිංචි වී සිටි ඩයගම ප්‍රදේශයේ තරුණියන් කිහිප දෙනෙකුගෙන්ම පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර එම ප්‍රදේශයේ රැදී සිටින පොලිස් කණ්ඩායම් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සේවයේ යෙදී සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මියයාමේ සිද්ධියට අදාළව පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකරනවා. සිද්ධියට අදාළ නඩුව ඊයේ කැදවූ අවස්ථාවේ දේහය යළි ගොඩගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අනුව ඩයගම ප්‍රදේශයේ මිහිදන් කළ දැරියගේ දේහය අද දිනයේ ගොඩගැනීමට නියමිතයි. විශේෂ පොලිස් කණ්ඩායමක් ද එම ප්‍රදේශයට ගොස් ඇති අතර මේ වනවිට ප්‍රකාශ රැසක් සටහන් කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියට සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිද ඇතුළු සැකකරුවන් 4 දෙනාද ඊයේ දිනයේ දෙවන වරටත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. එහිදී ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර මහනුවර ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත ද යොමු කිරීමටයි පියවර ගැණුනේ. සිද්ධියට අදාළව සිදුකරන පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කියාසිටියේ සැකකරුවන් ලබාදී ඇති ප්‍රකාශ පරස්පර බැවින් සිද්ධිය සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුවී ඇති බවයි.
එමෙන්ම සිද්ධිය සිදුවූ නිවසේ ගෘහ මූලිකයා ලෙස රිෂාඩ් බදියුදීන් ක්‍රියාකර ඇති බැවින් ඔහු ද සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.
මේ අතර දැරිය මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේත් ස්ථාන කිහිපයකදීම අදහස් පළකෙරුණා.
The post රිෂාඩ්ගේ ගෙදර දී මිය ගිය දැරියගේ සිරුර අද ගොඩගනී appeared first on ITN News.
Post a Comment