පීසීආර් පරීක්ෂණ වගේම ඇන්ටිජන් පරීක්ෂණවලට අය කරන මිල ගණන් පාලනය කිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර තිබෙනවා. ලබන සතිය වන විට ඒ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවයි ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ.
මේ අතර අපේ රටේ සිදුකරන PCR පරීක්ෂණ වල වගේම ඇන්ටිජන් පරීක්ෂණවල මිල ලබන සතිය වනවිට පාලනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. අද දවසෙත් මේ වන විට අපේ රටෙන් කොරෝනාවට ගොදුරු වුන 1885 දෙනෙක් හමුවී තිබෙනවා.
ඊයේ දිනයේද මෙරටින් කොරෝනා ආසාදිතයින් දෙදහස් පන්සිය හැටඑක් දෙනෙක් හදුනා ගැනුණා. ඒ අනුව පසුගිය 29 වනදා සිට ඊයේ දක්වා අඛණ්ඩව දෙදහස ඉක්ම වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනිකව වාර්තා වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ දහඅටදහස් හත්සිය පනස් පහක්.
ඒ අතුරින් විසිනවදහස් පන්සිය අසූහය දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. අද සුවය ලැබූ එක්දහස් අටසිය හතළිස් එක් දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ අසූහයදහස් තුන්සිය හැට පහක්. මෙරට සිදු වූ වැඩිම දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව අසූ දෙකක් ලෙස ඊයේ දිනයේදී සෞඛ්‍ය අංශ වාර්තා කළා. කොරෝනා රෝගයට දරුවන් ගොදුරුවීමේ වැඩි ප්‍රවනතාවක්ද මේ දිනවල දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ ජී විජේසූරිය මහතා පවසනවා.
කොරෝනා තත්ත්වය හමුවේ රාජ්‍ය සේවයේ නිරත ගැබිනි කාන්තාවන්ට නිවසේ සිට සිය රාජකාරි ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සකසා දීමට අදළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් නිකුත් කිරීමට පියවර ගනු ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.
මේ අතර ලබන සතිය වන විට මෙරට සිදුකරන PCR පරීක්ෂණ සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා මිල පාලනය කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.
කොරෝනා ව්‍යසනය හමුවේ රෝගයට ගොදුරු වන පුද්ගලයින් තමන්ගේ පෞද්ගලික මෝටර් රථයෙන් රෝහල් කරා රැගෙන ඒම සිදු කරන ගුරුවරයෙකු පිළිබද වාද්දුව පොතුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා. අසින්ත රණසිංහ නමැති ඔහු ස්වෙච්ඡාවෙන්ම මෙම සත්කරයට එක්ව සිටින්නේ බොහෝ දෙනෙකුට ආදර්ශයක් ගෙන දෙමින්.
මේ අතර එන්නත්කරණ වැඩපිළිවෙළද තවදුරටත් ක්‍රියාත්මකයි. මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු හැටට වැඩි පුද්ගලයින්ට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ස්ථාන පහකදී ආරම්භ වුණා.
මේ අතර වයස අවුරුදු 30 ත් 30 වැඩි පුද්ගලයින් අතුරින් කොරෝනා මර්දන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව සියයට අසූ හයකට ලබා දී ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
බන්ධනාගාර රැදවූවන් සදහා සයිනොෆාම් එන්නත ලබාදීම අද ආරම්භ කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළා.
අද වන විට කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබා ගත් සංඛ්‍යාව එක්කෝටි හය ලක්ෂ දහසය දහස් හයසිය අසූ තුනක් වන අතර දෙවන මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ගණන විසි හය ලක්ෂ හතළිස් හය දහස් හතළිස් දෙකක් බවයි වසංගත රෝග විද්‍යායතනය සදහන් කරන්නේ.
The post අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1885 ක් හමු වෙයි appeared first on ITN News.
Post a Comment