කොරෝනා උවදුරින් ලෝකවාසී ජනතාව මුදාගැනීම අරමුණු කරගෙන නවගමුව පුරාණ සත්පත්තිනි දේවාලයේදී විශේෂ ආශිර්වාද පූජාවක් අද සවස පැවැත්වුණා.
දිවයිනේ හැම ප්‍රදේශයකම ජනතාව තමන්ගේ නිවෙස්වල ඉදලා ස්වාධීන රූපවාහිනියත් එක්ක සම්බන්ධ වෙමින් මේ උතුම් පිංකමට දායක වුණා.
කොරෝනා උවදුරෙන් ලෝකවාසී ජනතාව මුදාගැනීම අරමුණු කරගනිමින් හා මව්බිමෙන් කොරෝනා වසංගතය තුරන්වේවා යන ප්‍රාර්ථනයෙන් මෙම විශ්ව ආශිර්වාද පූජාව පැවත්වුණා. කොරෝනා වසංගතය තුරන්වේවායි ප්‍රාර්ථනා කරමින් පසුගිය වසරේ මාර්තු මාසයේදී සත්පත්තිනි මෑණියන් උදෙසා භාරවීම සිදු වූ අතර එම භාරය ජුනි මාසයේදී ඔප්පු කිරීමට කටයුතු කෙරුණා.
කොරෝනා වයිරසය යළි හිස එසවීමත් සමග පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී යළිත් භාරවීම සිදු වූ අතර අද දිනයේ එම භාරය අලුත් කිරීමටයි කටයුතු කෙරුණේ.
ගුරු හෝරාව ලබා ඇති නැකතේදී සවස 6.06 ට යෙදුන සුබ මොහොතින් සත්පත්තිනි දේව ප්‍රතිමාව නිරාවරණය කෙරුණා. එම මොහොතේ පහනක් දල්වා සත්පත්තිනි මෑණියන් උදෙසා භාරවීම හා භාර අලුත්කිරීම සදහා ලංකා වාසී ජනතාව අප හා එක් වුණා. පොලිස් සංස්කෘතික වාද්‍ය වෘන්දය ශබ්ද පූජාව පැවැත්වීම හා හේවිසි වැයීම සිදු කළා.
ස්වාධීන රූපවාහිනී එච්.ඩී මැදිරියේ ඉදිකළ විශේෂ මණ්ඩපයේ සිට මහා සංඝරත්න රතන සූත්‍රය සජ්ඣායනා කළ අතර බෙල්ලන්විල රජමහා විහාරය, හුණුපිටිය ගංගාරාම විහාරය හා කොරතොට රජමහා විහාරයේදී ද ඊට සමගාමීව පිරිත් සජ්ඣායනා කිරීම සිදු වුණා. දිවයිනේ සියලු ආගමික ස්ථානවලදී ශබ්ද පූජා පවත්වා පහන් දල්වා කොරෝනා ව්‍යසනය හමුවේ සියලු දෙනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කළා.
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා සහ ඉහළ කළමනාකාරීත්වය ද කඩුවල නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post කොරෝනාවෙන් ලෝ වැසියන් මුදාගන්න ITN ආශිර්වාද පූජාවට රටම එක්වෙයි appeared first on ITN News.
Post a Comment