හෙට (06) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන නව ඛනිජ තෙල් සම්පත් පනත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මැති ඇමැතිවරුන් දැනුම්වත් කිරීමේ ආණ්ඩුපක්ෂ කමිටු රැස්වීමක් ඊයේ (04) පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.
එහිදී බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මෙම පනතෙහි ඇති වැදගත්කම සහ විධිවිධානයන් සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂ මැති ඇමැතිවරුන් දැනුම්වත් කළේය.
ශ්‍රී ලංකාව සතු තෙල් සහ ගෑස් නිධි භාවිතා කරමින් ඛනිජ තෙල් සහ ගෑස් නිෂ්පාදනය මෙරට තුල ආරම්භ කිරීම සඳහා අවශ්‍ය නෛතික පසුබිම සහ නියාමන යාන්ත්‍රණය සැකසීම සහ එමගින් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැවැන්ත ආයෝජකයන් මෙරට ඛනිජ තෙල් ගවේෂණ සඳහා ආකර්ෂණය කර ගැනීමට මෙම නව පනත මගින් බලාපොරොත්තු වේ.
නව පනතේ පවතින ප්‍රධාන ලක්ෂණ පහත දැක්වේ,
1.නිශ්චිත සහ ස්වාධීන නියාමන බලතල සහිතව ශ්‍රි ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය ස්ථාපනය කිරීම.
2.උපායමාර්ගික සැලසුමකට අනුව ඛනිජ තෙල් සම්පත් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සඳහා ප්‍රතිපත්ති උපදේශක කමිටුවක් ස්ථාපනය කිරීම.
3.අධිකාරියේ පරිපාලනය කළමනාකරණය සහ කටයුතු පාලනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කිරීම.
4.ශ්‍රි ලංකා රජයේ සහභාගීත්ව අයිතිය නියෝජනය කිරීම සඳහා ජාතික ඛනිජ තෙල් මෙහෙයුම්කරු ලෙස Sri Lanka National Oil and Gas Ltd යන නමින් සමාගමක් ස්ථාපනය කිරීම.
5.රටේ පවතින ආර්ථිකමය අවශ්‍යතාවයන්ට සරිලන අන්දමින් සහ ආයෝජකයින්ගේ මූල්‍යමය ස්ථායිත්වය ආරක්ෂා කිරීම සඳහා විධිවිධාන සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, නියාමනය කිරීම සහ වෙනස් කිරීම සඳහා විධිවිධාන ඇතුලත් වීම.
6.ශ්‍රි ලංකාවේ ඛනිජ තෙල් සම්පත් ගවේශනය, සංවර්ධනය, නිෂ්පාදනය සහ කළමනාකරණ සඳහා විධිවිධාන සලසා දීම.
7.ඛනිජ තෙල් සම්පත සහ ඛනිජ තෙල් දත්ත සඳහා රාජ්‍ය හිමිකම තහවුරු කිරීමට විධිවිධාන සලසා දීම.
8.බිම් කොටස් හා ප්‍රදේශ මායිම් ලකුණු කිරීම, නම් කිරීම, ඛනිජ තෙල් සම්පත් ගිවිසුමකට හෝ ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමකට එළඹීම සහ ගවේශන බලපත්‍ර ප්‍රදානය කිරීම ආදිය සඳහා සෘජු විධිවිධාන සලසා තිබීම.
9.ඒකක සංවර්ධනය සඳහා විධිවිධාන සලසා දීම තුළින් තවදුරටත් නම්‍යශීලි සහ ආයෝජන අවදානම අවම කිරීමට අවශ්‍ය රාමුව සකසා දීම.
මෙම අවස්ථාව සඳහා සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලු ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන් රැසක් සහභාගි විය.
The post නව ඛනිජ තෙල් සම්පත් පනත හෙට පාර්ලිමේන්තුවට appeared first on ITN News.
Post a Comment