අනිවාර්ය නිවාඩු මත සිටින කුරුණෑගල රෝහලේ සේවය කළ වෛද්‍ය එස් එස් එම් සාෆි මහතාට හිඟ වැටුප් ගෙවීමට හෝ නැවත සේවයේ පිහිටුවීමට උපදේශයක් කර නැති බව රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිවේදනය කරනවා. මේ සම්බන්ධයෙන් විවිධ අදහස් පළවනවා.
වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් ඇතිවුණේ 2019 වසරේ මැයි 23 වනදා මෙරට ප්‍රධාන පුවත්පතක් සිදුකළ අනාවරණයක් සමගයි. මෙවැනි පසුබිමක් මත අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව මත සාෆි වෛද්‍යවරයා 2019 වසරේ මැයි 25 වනදා කුරුණෑගල පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තා. අනතුරුව 2019 ජුලි 25 වනදා වෛද්‍යවරයා ඇප මත මුදා හැරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එහි පරීක්ෂණ කටයුතු කඩිනම් කරමින් ඉදිරි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කෙරුණා.
මේ අතර අනිවාර්ය නිවාඩු යැවීමකට ලක්ව සිටි සාෆි මහතාට හිඟ වැටුප් ගෙවන ලෙස දන්වා කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් එස්.එච්. මුණසිංහ මහතා පසුගිය 6 වැනිදා ලිඛිතව දැනුම් දී තිබෙනවා. මෙයට පිළිතුරු ලිපියක් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරයා යොමු කළ ඇති අතර අප කළ විමසීමකදී ඔහු සදහන් කළේ තමන් යැවූ ලිපිය පිළිබද තොරතුරු මාධ්‍යයට හෙළි කළ නොහැකි බවයි. වෛද්‍ය සාෆි මහතා නැවත සේවයේ පිහිටුවීම හා හිඟ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
– උපුටා ගැනීම –
කුරුණෑගල රෝහලේ සේවය කරන ලද වෛද්‍ය එස්.එස්.එම්. සාෆි මහතා වෙත එල්ල වූ චෝදනා හේතුවෙන් ඔහු 2019.05.24 දින සිට අනිවාර්ය නිවාඩු යැවීම සුදුසු බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලබාදුන් නිර්දේශය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් 2019.06.19 දින අනුමැතිය ලබාදී ඇත. ඒ අනුව අනිවාර්ය නිවාඩු මත සිටින ඔහුට හිඟ වැටුප් ගෙවීම පිළිබඳව හෝ නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව උපදෙස් ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වෙනත් කිසිදු ආයතනයක් මේ දක්වා මෙම කොමිෂන් සභාව හෝ එහි සෞඛ්‍ය සේවා කමිටුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර නැත. එසේම එවැනි උපදේශයක් රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ එහි සෞඛ්‍ය සේවා කමිටුව විසින් හෝ නිකුත්කර නොමැත. කෙසේ වුවද අනිවාර්ය නිවාඩු ගන්වා ඇති නිලධාරියෙකු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය ආයතන සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති බැවින් ඒ අනුව කටයුතු කිරීමට අදාළ බලධාරීන්ට හැකියාව ඇත.
එම්.ඒ.බී. දයා සෙනරත් ලේකම් රාජ්‍ය සේවා කොමිෂන් සභාව.
– උපුටා ගැනීම අවසන් –
The post වෛද්‍ය සාෆිව සේවයේ පිහිටුවන්නත් හිඟ වැටුප් දෙන්නත් උපදේශයක් කර නැහැ -රාජ්‍ය සේවා කොමිසම appeared first on ITN News.
Post a Comment