ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් කරමින් මැතිවරණ කොමිසම අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ධම්මික පෙරේරා මහතාට මන්ත්‍රිවරයෙකු ලෙස පාර්ලිමේන්තු වරම් හිමිවුණේ බැසිල් රාජපක්ෂ මහතා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් ඊයේ ඉවත් වීමට ගත් තීරණයත් සමඟයි.
පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සදහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛම පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා විසින් ලබාදී තිබුණා. ඒ අනුව 1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (05) වගන්තිය ප්‍රකාරව ධම්මික පෙරේරා මහතා තෝරා පත්කර ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කිරීම සදහා මැතිවරණ කොමිසන් සභාව මේ වන විටත් ලිඛිත දැනුම් දීම සිදුකර තිබෙනවා. මේ අතර ධම්මික පෙරේරා මහතා ඔහු යටතේ පැවති සියලූම සමාගම්වල අධ්යක්ෂ මණ්ඩල සාමාජික ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ මන්ත්‍රී ධුරයක් දැරීමට යම් නීතිමය බාධාවක් ඇතිවීම වළක්වා ගැනීම සදහායි. ධම්මික පෙරේරා මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රිවරයෙකු ලෙස පත්කිරීමේ ගැසට් නිවේදනය ඉදිරියේදී නිකුත් කිරීමට ද නියමිතව තිබෙනවා.
මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නව අමාත්‍යාංශ දෙකක් නම් කොට අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.
තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය එම අමාත්‍යාංශ දෙකයි. ජනාධිපතිතුමා නිකුත්කළ එම ගැසට් නිවේදනයට අනුව අදාළ අමාත්‍යාංශ සදහා කාර්යයන් සහ විෂය පථයන්ද දක්වා තිබෙනවා. ඒ අනුව තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට අයත් ආයතන අතර ශ්‍රී ලංකා ටෙලිකොම්, විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, කොළඹ වරාය නගරය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ආයෝජන මණ්ඩලය ආදී ආයතන රැසක් ද මෙම අමාත්‍යාංශයට අයත්වනවා. මීට පෙර පුද්ගලයින් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, ශ්‍රීලංකා ටෙලිකොම් ඇතුළු ආයතන කිහිපයක් පැවතියේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි. කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයට ජාතික ළමා රක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන 15ක් ඇතුලත් වනවා.
The post ධම්මික පෙරේරා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් කරයි appeared first on ITN News.
Post a Comment