Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව සූදානම් – ඉන්දිය විදේශ ඇමති  

Add comments

සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව සූදානම් බවට ඉන්දිය විදේශ අමාත්‍ය  එස්.ජයිශංකර් මහතා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  හමුවේ ද සහතික වුණා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු තවත් මැතිඇමතිවරු කිහිප දෙනෙකු සහ ජයිශංකර් මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී අද පෙරවරුවේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සඳහා යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැකේජයට ඉන්දියාව පූර්ණ සහාය ලබා දෙන බවට සහතිකවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය  පල කළා. ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය හිමි රටවලින් එවැනි සහතිකයක් බලාපොරොත්තු වුණා. ණය ප්‍රතිසංවිධාන කිරීම සඳහා ඇමෙරිකා ඩොලර් බිලියන 4 ක් ලබාදීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා ඉන්දියාවට ස්තුතිය පල කළා. පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයෙහි ආයෝජන සිදු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් ද කළා. ඒ සඳහා ඉහළ හැකියාවක් ඇති බව ද ජයිශංකර් මහතා දැනුම් දුන්නා. පාසල් පෙළ පොත් මිලියන 19 ක් මුද්‍රණය කිරීමට ලබා දුන් සහායට ද  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහිදී ස්තුතිය පල කළා. අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී කියා සිටියේ පොදු ප්‍රවාහනය වැඩි දියුණු කිරීම සදහා ඉන්දීය සහාය අපේක්ෂා කරන බවයි. කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම පිළිබද සළකා බැලීමට සූදානම් බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළේ. රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ අතර විදේශ  අමාත්‍ය අලි සබ්රි මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක් විදේශ අමාත්‍යාංශයේදී ඊයේ සිදු කෙරුණා. යටිතල පහසුකම් , බලශක්ති , කර්මාන්ත හා සෞඛ්‍ය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබුණා.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද හමු වුණා. ඒ මහතා සහ උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා පැවැත්වුණේ ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිල නිවසේදීයී. ආර් සම්බන්ධන් ,එම්.ඒ සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා,ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර යන ජනතා නියෝජිතයන් මීට එක්ව සිටියා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර හමුවක්ද සිදු වුණා. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදීයී.

ඉන්දීය ධීවර ප්‍රශ්නය සම්බන්ධයෙන් නිසි විසදුමක් ලබා දෙන බවට ඉන්දීය විදේශ අමාත්‍යවරයා පොරොන්දු වූ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා  පවසනවා. ඒ එම හමුවෙන් අමතරව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනුයි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මේ වසරේදී බස් රථ 600 ක් ප්‍රවාහනයට එක්කිරීමට නියමිතයි. 75 වන නිදහස් දිනය වෙනුවෙන් බස් රථ 150 ක් ප්‍රවාහනයට එක් කිරීමේ සංකේතාත්මක උත්සවය කොළඹදී පැවැත්වුණා.ඒ ඉන්දීය විදේශ අමාත්‍ය එස්.ජයිශංකර්  සහ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.

 

The post සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහාය දීමට ඉන්දියාව සූදානම් – ඉන්දිය විදේශ ඇමති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG