Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඓතිහාසික දිඹුලාගල පුදබිම පුළුල් සංවර්ධනයකට  

Add comments

හෙළ රජ දවස සිට දිවයිනේ ප‍්‍රධාන ආරණ්‍ය සේනාසනයක් බවට පත්ව තිබූ දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සංවර්ධනය කිරීම පිළිබඳ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පූර්ණ අවධානය යොමුව තිබෙන අතර එහි ඇති සියලුම විහාරාංග, පිරිවෙන් ශාලා ඇතුළු සියලු නවීකරණ කටයුතු “පිබිදෙමු පොළොන්නරුව” දිස්ති‍්‍රක් සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට සිදුවෙමින් පවතී.

ඒ අනුව අදියර 4 ක් යටතේ මෙම සංවර්ධන කටයුතු සිදුකෙරෙන අතර, රුපියල් ලක්ෂ 1500 ක මුදලක් වැයකරමින් ඉදිකළ නව පිරිවෙන් ශාලා ගොඩනැගිලි සංකීර්ණය සහ සංඝාවාසය සඟ සතු කොට පූජා කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මෙම පොසොන් පුර පසළොස්වක පොහොය යෙදී ඇති ජූනි 27 වන දින සිදු කෙරේ.

විහාරස්ථානයේ අභ්‍යන්තර විහාර ආරාම පද්ධතිය පිළිසකර කිරීම, පිරිවෙන හා සම්බන්ධ අධ්‍යාපන පටිපාටියේ අඩු පාඩු සම්පූර්ණ කිරීම, නව පරිසරය සැකසීම, අභිනව වාහල්කඩ හා වළාකුළු බැම්ම ඉදිකිරීම මෙන්ම දොළොස්මහේ පහන නවතාවයකින් ඉදිකිරීම, භාවනානුයෝගි භික්ෂුන් වහන්සේලා උදෙසා භාවනා කුටි ඉදිකිරීම, විහාර පරිශ‍්‍රයේ දර්ශනීය පොකුණක් ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මේ වන විට සිදුකෙරෙමින් පවති.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය එදා මෙන්ම අදත් වැදගත් පූජනීය ස්ථානයක් ලෙස දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉමහත් ගෞරවාදරයට පාත‍්‍ර වූ පුදබිමකි.හෙළ රජ දරුවන් විසින් ද දිඹුලාගල බෞද්ධ කටයුතු සඳහා රාජ්‍ය අනුග‍්‍රහය දක්වන ලද බව ඉතිහාසයේ සඳහන් වෙයි.

මෙම පුදබිම තුළ වැඩවිසූ භාවනායෝගි භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පළමුවන විජයබා රජු විසින් ඉන්දියාවෙන් ගල් වඩුවන් ගෙන්වා ගල් ලෙන් පන්සියයක් කරවා මහා කාශ්‍යප සංඝරාජ හිමිපාණන් වහන්සේ වෙත පූජා කළ බවට ඉතිහාසයේ සඳහන් වන අතර, එම ඓතිහාසික පූජාව ද සිදුකර ඇත්තේ පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයකදීම ය.

වර්තමාන රාජ්‍ය නායකයා ලෙස ද ඓතිහාසික දිඹුලාගල පුදබිමේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සුවිශේෂී අවධානයකින් කටයුතු කරන අතර පෙර රජ දවසින් පසු මෙම යුගයේ සිදු කෙරුණු මෙම සුවිශේෂී සංවර්ධන කටයුත්ත සඟ සතු කොට පූජා කෙරෙන්නේ ද එවන්ම වූ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයකි.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG