Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පරාක්‍රම සමුද්‍රයේ කැළි කසළ ගැටලූව ජනපතිගේ දැඩි අවධානයට  

Add comments

ඓතිහාසික පොළොන්නරුව පුරවරයේ දිදුළන ආභරණය පරාක්‍රම සමුද්‍රයයි. වෙහෙසකර ගමනාගමනයක් අතරතුර ජනතාව පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළට පැමිණෙන්නේ රටාවට දියරැළි නංවන එම මනරම් දසුන නැරඹීමට මෙන්ම එම දියරැළි සමග හමා එන සිසිල් මදනලෙන් ගතේ මෙන්ම සිතේ විඩාව ද නිවා ගන්නටය.
එහෙත් පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම අසළ කළක සිට පවතින කැළි කසළ ගැටලූව එහි සුන්දරත්වය වනසා දමමින් තිබේ.අවිධිමත් ලෙස මෙම ස්ථානයට කසළ බැහැර කිරීම හේතුවෙන් කැළි කසළ ගොඩගැසී ඇති අන්දම දක්නට ලැබේ.

ඊයේ පොළොන්නරුවේ පැවති උත්සව සහ වැඩසටහන් කිහිපයකට සහභාගීවීමට එහි ගිය ජනාධිපතිතුමා අද (25) උදෑසන සිය ශාරිරික සුවතාවල යෙදෙන අතරතුර පරාක්‍රම සමුද්‍රය අසළ මෙම කණගාටුදායක තත්ත්වය සියැසින් දැක බලා ගත්තේ ය.අනතුරුව වහාම එම ස්ථානයට අදාළ සියලූ නිලධාරින් කැඳවූ ජනාධිපතිතුමා නිලධාරින්ට දැඩි ලෙස උපදෙස් දුන්නේ මෙම කැළිකසළ ගැටලූව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

එම ස්ථානය තුළ සුදුසු පරිදි කසළ බඳුන් සවි කිරීමට සහ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය කි්‍රයාමාර්ග ගැනීමට ද ජනාධිපතිතුමා නිලධාරින්ට නියෝග කළේය. එම කටයුතු පිළිබඳ නිරන්තර පසුවිපරමක් සිදුකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඓතිහාසික උරුමයක් වූ පරාක්‍රම සමුද්‍රයේ වටිනාකම ආරක්ෂා කර ගැනීම මෙන්ම ජනතාවට නිදහසේ සහ සුවදායක පරිසරයක් තුළ එහි අසිරිය විඳ ගැනීමට අවස්ථාව සලසාදීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් නිලධාරින්ට පෙන්වා දුන්නේය.එමෙන්ම මෙම පොසොන් උදාව නිමිත්තෙන්, දිවයිනේ නන් දෙසින් ඓතිහාසික පොළොන්නරුව පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ නෙත් සිත් පහන්වන අයුරින් එහි පරිසරය පවත්වාගෙන යාම සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සළසාදීම පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින් දැනුවත් කළේය.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG