Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති බිම්ස්ටෙක් සමුළුව අමතයි  

Add comments

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සදහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් හතරවන රාජ්‍ය නායක සමුළුව මේ වන විට  නේපාලයේ  කත්මන්ඩු අගනුවරදී පැවැත්වෙනවා. සමුළුව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසුවේ ඒ ඒ රටවලට අනන්‍ය වූ ආර්ථික, සමාජ, සංස්කෘතික, සහ දේශපාලන වැඩපිලිවෙලක් තුළ කලාපීය වශයෙන් එකිනෙකාට ගැලපෙන්නා වූ එකගතාවන් සහිතව පොදු අරමුණකින් කටයුතු කිරීම ඉතා වැදගත් බවයි.

බිම්ස්ටෙක් සමුළුව නේපාලයේ  කත්මන්ඩු අගනුවරදී අද (30) පස්වරුවේ ආරම්භ වූයේ රටවල් 07 ක රාජ්‍ය නායකයින් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, ශ්‍රී ලංකාව, තායිලන්තය හා නේපාලය යන රටවල රාජ්‍ය නායකයින් හා නියෝජිතයින් එක්ව සිටියා. මෙම සමුළුවට එක්වීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා මුණගැසී සාකච්ඡා කළා.  එහිදී ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කරමින් සංහිදියාවත් තිරසාර සාමයත් උදාකරගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කරන කැපකිරීම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පැසසුමට ලක් වුණා.  මෙහිදී ජනාධිපතිතුමා සමග සුහද කථාබහකට එක්වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එළඹෙන තුන්වනදාට යෙදෙන ජනාධිපතිතුමාගේ ජන්ම දිනය වෙනුවෙන් සුභපැතුම් එක් කිරීමටද අමතක කළේ නැහැ.

මේ අතර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව අවසානයේ එහි සභාපතිත්වය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හට භාරදීමට නියමිත  අතර  ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන්ද අදහස් පල කළා. අත්දැකීම් බහුල නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ බිම්ස්ටෙක් සංවිධානය ඉතා ශක්තිමත් සංවිධානයක් බවට පත්වනු ඇතැයි මෝදි මහතා මෙහිදී  පවසා තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකා මියන්මාර් ඒකාබද්ධ වෙළෙද ගිවිසුම නැවත සක්‍රීය කරගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළෙද සබදතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මියන්මාර ජනාධිපති වින් මයින්ට් මහතා එකඟවී තිබෙනවා.  රාජ්‍ය නායකයින් දෙපල අද (30) පෙරවරුවේ හමු වූ අවස්ථාවේ දීර්ඝ ඉතිහාසයක් ඇති මියන්මාර ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් ශක්තිමත් කර ගැනිම පිළිබද වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා .

මේ අතර බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගීවී සිටින රාජ්‍ය නායකයින් සහ නේපාල ජනාධිපතිනී බිද්‍ය දේවී බණ්ඩාරි මහත්මිය අතර හමුවක් අද දහවල් කත්මන්ඩු නුවර ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරුණා. එහිදී නේපාල ජනාධිපතිනිය විසින් සියලු රාජ්‍ය නායකයින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තා.  සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයින් විශේෂ දිවා භෝජන සංග්‍රහයකට එක්වූයේ ඉන් අනතුරුවයි. 

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG