නවකවදය වැළැක්වීම පිළිබඳ පනත නිසි ලෙස ක්‍රියාත්මක කරමින් ඊට සම්බන්ධ වන පිරිස් වෙත දැඩි දඬුවම් ලබා දීමේ නීති ඉදිරියේදී ක්‍රියාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ඉදිකිරීමට යෝජිත පොළොන්නරුව ජාතික වෘත්තීය පුහුණු ආයතනය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමින්.
නවීන තාක්‍ෂණික පහසුකම් සහිත පොළොන්නරුව නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පොළොන්නරුව හිඟුරක්ගොඩ මැදිරිගිරිය පාරේ දොරදෙක ප්‍රදේශයේ පිහිටි අක්කර 17ක භූමි භාගයක ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන හයදහස් පන්සියයක්.
නෙදර්ලන්ත රජය ඊට ණය පහසුකම් සපයනවා. නවීන තාක්‍ෂණික පහසුකම් සහිත මෙම පුහුණු ආයතනය මගින් ජාතික වෘත්තීය සුදුසුකම් සහිත එන් වී කිව් හතර හා පස් වන මට්ටමේ තාක්‍ෂණික ශිල්පීන් සහ ඩිප්ලෝමාධාරීන් එක්දහස් තුන්සිය විසිපහක් බඳවාගෙන වාර්ෂිකව පූර්ණ කාලීන පුහුණුවක් ලබා දීමට අපේක්‍ෂිතයි.
මීට අමතරව රැකියාවේ නියුතු වෘත්තිකයින් සඳහා තාක්‍ෂණික දැනුම යාවත්කාලීන කිරීමේ අර්ධ කාලීන පාඨමාලා පැවැත්වීමට ද යෝජිතව තිබෙනවා. එමෙන්ම ඉදිකිරීම් , මෝටර් තාක්‍ෂණය, විද්‍යුත් යාන්ත්‍රික, ආගන්තුක සත්කාර හා සංචාරක, කෘෂිකාර්මික යන ක්ෂේත්‍ර යටතේ පුහුණු පාසල් 5 ක් ආරම්භ කර පූර්ණ කාලීන වෘත්තීය පාඨමාලා 34 ක් පවත්වාගෙන යාමට ද නියමිතයි. අදාළ ඉදිකිරීම් වසර 3 කින් නිමකර 2022 ජනවාරි මාසයේ සිට මෙහි පුහුණු කටයුතු ආරම්භ කෙරෙනු ඇති.
වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළ ජනාධිපතිතුමා එම පරිශ්‍රයේ නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වුණා. නිපුණතා සංවර්ධනය පිළිබඳ තොරතුරු ඇතුළත් වෙබ් අඩවිය එළිදැක්වුණේ ද ජනාධිපතිතුමා අතින්. ඉන් අනතුරුව රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා නවකවදය දීම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
Post a Comment