
ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළා. ඔහුගේ බිරිදට සහ සොහොයුරියටද වරෙන්තු නිකුත් කෙරුණා. ජාලිය වික්‍රමසූරිය මහතා ඇමෙරිකාවේ පාඨමාලාවක් හැදෑරීම සදහා මුදල් යොදවා ඇති ආකාරය පිළිබද විමර්ශන සිදු කෙරෙන බව මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නා. එම පාඨමාලාව පැවැත්වූ එරට ආයතනය සහ සැකකරු අතර ඇති සබදතාව පිළිබදවද විමර්ශන ආරම්භ කර ඇති බවයි විමර්ශන නිලධාරින් අධිකරණයට තවදුරටත් ප්‍රකාශ කළේ. එම ආයතනයට රුපියල්ලක්ෂ විස්සක මුදලක් බැර වී ඇති බව ද එම නිලධාරීන් ප්‍රකාශ කළා.
රජයේ මුදල් ඇමෙරිකා ඩොලර් තුන්ලක්ෂ තිස් දෙදහසක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම, ඒ සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම ඔහුට එරෙහි චෝදනායි. මේ සම්බන්ධයෙන් ඇප මත සිටින ජාලිය වික්‍රමසූරිය මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින් විදේශගත වුවද ඔහු යළිත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. ඒ අනුවයි ඔහුගේ පළමු සහ දෙවන ඇපකරුවන් වන බිරිද හා සොහොයුරියට ද වරෙන්තු නිකුත් කෙරුණේ. අදාළ වරෙන්තු ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තරයටද යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය උපදෙස් ලබා දුන්නා. මෙම සිද්ධියට අදාළව බැංකු ගිණුම් 71 ක් සම්බන්ධ විමර්ශන සිදු කරන බව ද පොලීසිය අධිකරණයට දැනුම් දුන්නා.
Post a Comment