හයට් සහ හිල්ටන් හෝටල් ව්‍යාපෘති තවදුරටත් රජයට බරක් නොවන්නට නම් මූල්‍ය ශක්තිය ඇති කීර්තිමත් ආයෝජකයෙකුට එම ව්‍යාපෘතිය පැවරීමට සිදුව ඇති බව මුදල් හා ජනමාධ්‍ය ආමාත්‍යාංශය නිවේදනය කරනවා.
හයට් හෝටලයේ ඉදිකිරීම් අඩක් පමණ නිම කර ඇති අතර එහි වියදම දරා ඇත්තේ රාජ්‍ය ව්‍යවසායකයන් වන අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලිට්රෝ ගෑස් සමාගමයි. වියදම් කර ඇති මුදල රුපියල් බිලියන 15 ක් පමණ වන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසන්නේ. අදාළ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සදහා මෙම රාජ්‍ය ආයතනවලින් තවත් විශාල මුදල් සම්භාරයක් වියදම් කළ යුතු බවයි අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මහජන මුදල් මෙවැනි ආයෝජන සදහා නොයෙදවිය යුතු බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. එබැවින් ඉදිරි ඉදිකිරීම් කටයුතු කීර්තිමත් ආයෝජකයෙකුට පැවරිය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර හිල්ටන් හෝටලය දැනට ලාභ ලබමින් සිටියද අලුතින් ආරම්භ වන සෙසු හෝටල් සමග තරග කිරීම සදහා එය නවීකරණය කළ යුතුවනවා. එවැනි නවීකරණ ක්‍රියාවලියක් සදහා රුපියල් බිලියන හතරකට වැඩි මුදලක් වැය වන බවටයි ගණන් බලා ඇත්තේ. ඊට අමතරව හිල්ටන් හෝටල් පරිශ්‍රයේ තවත් ගොඩනැගිලි කුළුණක් සදහා අත්තිවාරම් දමා තිබෙනවා. මේ අනුව නව ආයෝජනයකට යොමු කිරීම හෝ සේවා නිවස්න ව්‍යාපෘතියක් ඉදිකිරීමට කටයුතු කිරීම යෝග්‍ය වන බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ. රාජ්‍ය ව්‍යවසායකයන් මෙවැනි ආයෝජන සදහා යොමු කිරීමේදී රජයේ මුදල් ඒ සදහා යෙදවිය යුතු වනවා. හයට් සහ හිල්ටන් ව්‍යාපෘති සදහා කැමැත්තක් දක්වන ආයෝජකයන් ලැයිස්තුගත කර විනිවිද ක්‍රියාවලියක් යටතේ ලංසු තැබීම සිදුකළ යුතු බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුවයි රජයේ උපායමාර්ගික දේපොළ ගණයට අයත් නොවන මෙම ව්‍යාපෘති දෙක පවරා දීමට තීරණය කර ඇත්තේ. එය වාර්ෂික අයවැය කතා කිහිපයකදී ද යෝජනා කෙරුණු බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
Post a Comment