Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තලයි  

Add comments

ජනතාව අන්ධකාරයෙන් ආලෝකයට පැමිණවීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සම්ප්‍රාප්තිය සමරමින් සමස්ත ලෝකවාසී ජනතාව නව බලාපොරොත්තුවලින් පිබිදෙන අසිරිමත් අනාගතයක ඇරැඹුම නත්තල බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

අසිරිමත් නත්තල නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. නත්තලේ අපේක්ෂාව වනුයේ නව ජීවිතයකි. නව උපතකි. සාමය හා සංහිඳියාව පිළිබඳ ජේසුතුමන්ගේ සදාතන පණිවුඩය ප්‍රතිරාව නංවන ප්‍රමෝ‍දයේ සමය ද නත්තල වේ.

ශාස්ත්‍රවන්තයන් පෙරදිග දී දුටු තාරකාව ඔවුනට පෙරටුව ගොස් ළදරු සමිඳාණන් විසූ ගවලෙනට ඉහළ අහසෙහි නතර වූ ඒ රාත්‍රිය අසීමිත ප්‍රේමයේ පණිවිඩය ගෙන පැමිණි ස්වාමි දරුවාණන්ගේ උපත සිදුවූ රාත්‍රියයි. ජේසු සමිඳාණන් සිය ජීවන සමය මුළුල්ලේ භාවිත කළේ ප්‍රේමයෙන් උතුරා යන වදන් සමුදායකි. උන්වහන්සේ කතා කළේ ධීවරයන්, වඩුවන්, ගොවියන් වැනි සාමාන්‍ය මිනිසුන් හට ය. “නුඹලාට උගන්වා ඇත්තේ ඇසට ඇසක් යනුවෙනි. ගලකින් පහර දුන්නොත් පර්වතයකින් ආපසු පහර දී යුක්තිය ඉෂ්ට කර ගන්නා ලෙසයි. එහෙත් මා නුඹලාට පවසන්නේ සතුරාට ප්‍රේම කරන්න’යි යනුවෙනි. නුඹලාට වෛර කරන අයට, වධ හිංසා පමුණුවන අයට ප්‍රේම කරන ලෙස යි.

නත්තල යනු මෙබඳු උත්තුංග දැක්මක් සහිත උතුමකුගේ අපරිමිත ගුණ සමූහය යළි සිහිපත් කරන සමය යි. උන්වහන්සේගේ අධිෂ්ඨානයන් සඵල කිරීමට ඉටාගත යුතු කාලය යි. විනාශය කරා යෑමේ පුළුල් දොරටුවලින් ඇතුළුවීමට පොරකන්නන් හට, නත්තල නව ජීවනයට යෑමේ පටු දොරටුව දෙස යළි හැරී බැලීමට අනුබල සපයයි. සටකපටකම් හා රැවැටීම් මඟින් ජනයා මුළාවෙහි හෙළනට කැසකවන්නන් බහුල ලොවකට උන්වහන්සේ පැවසුවේ ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවුණොත් ස්වර්ගයට ඇතුළු විය නොහැකි බව යි.

ලොවට හිත වැඩ පිණිස වූ මෙත් කරුණා ගුණෝපේත මිනිසත් බව වෙනුවෙන් වූ උන්වහන්සේගේ දහමින් පැවැසෙන සදුපදේශයන් මේ නත්තලේ මෙරට නගර ගම් දනව්වල ගෙයින් ගෙය පුරා රැව්දේවා.!

උන්වහන්සේ පැතූ උත්තර මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය පිළිබඳ ශුභාරංචිය මේ නත්තලෙහි සිවු දිග පැතිර යේවා! මෙරට සියලු කිතුනු ජනතාවට ප්‍රීතිමත් නත්තලක් වේවා යි ඉතසිතින් ශුභාශිංසනය කරනු කැමැත්තෙමි.

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG