Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකාය රැස්වෙයි  

Add comments

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය ස්ථාපිත කිරීමෙන් අනතුරු ව උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීමේ වැඩපිළිවෙළ වඩා වේගවත් වූ බව ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

වසර ගණනාවක් පුරා පැවති යුදමය වාතාවරණය හේතුවෙන් පසුබෑමට ලක්වූ උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය කඩිනම් කරමින් එහි ජන ජීවිතය සමෘද්ධිමත් කිරීමට පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවන ලදී.

එම කාර්ය සාධන බලකාය පිහිටුවීමෙන් අනතුරුව උතුරු සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ සහයෝගයෙන් එම පළාත් දෙකෙහි ඉඩම් අක්කර 6951ක් නිදහස් කිරීමට පියවර ගැනුණු අතර තවත් ඉඩම් අක්කර 475 ක ප‍්‍රමාණයක් ඉදිරියේ දී නිදහස් කිරිමට නියමිත ව තිබේ.

උතුරු නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධන බලකාය හයවන වරටත් ඊයේ (03) පස්වරුවේ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ දී රැස් වූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය කෙරිණි.

උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් නිදහස් කිරීම සම්බන්ධව එම පළාත්වල දේශපාලන නියෝජිතයන් ඉදිරිපත් කළ ගැටලු සහ යෝජනා පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.

යුද හමුදා නිලධාරින් ද සම්බන්ධ කර ගනිමින් පළාතේ දේශපාලන අධිකාරිය එක් ව සාකච්ඡා කර මෙම ගැටලු කඩිනමින් විසඳා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා ඊට මැදිහත්වී කටයුතු කරන ලෙස එම පළාත් දෙකෙහි ආණ්ඩුකාරවරුන් දෙදෙනා වෙත උපදෙස් දුන්නේ ය. එමෙන්ම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත නොහැකි ගැටලු ඇත්නම් ඉදිරි රැස්වීමට ඒවා ඉදිරිපත් කරන ලෙසත්, මෙම මැයි මාසය වන විට මෙම සියලු ගැටලු විසදා ගැනිමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.

2009 මානුෂිය මෙහෙයුම අවසන් වන විට උතුරු හා නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර 84,675 කට ආසන්න ප‍්‍රමාණයක් ආරක්ෂක අංශ භාරයේ පැවතිණි. බිම්බෝම්බ ඉවත් කිරීම වැනි කි‍්‍රයාදාමයන් හේතුවෙන් මන්දගාමීව පැවති එම ඉඩම් නිදහස් කිරීමේ කටයුතු 2015 ජනවාරි මාසයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු වඩා වේගවත් වූ අතර මේ වන විට එනම් 2019 මාර්තු 31 වන දින වන විට එම ඉඩම් අක්කර 84,675 ක ප‍්‍රමාණයෙන්, අක්කර 71,178 ක් නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට ආරක්ෂක අංශ භාරයේ පවතින්නේ ඉඩම් අක්කර 13,497 කි. එයින් ද අක්කර 11,039ක් රජයට අයත් ඉඩම් වේ. තවත් ඉඩම් අක්කර 475 ක ප‍්‍රමාණයක් ඉදිරි දිනවල දී නිදහස් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව උතුරු නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ තිබූ රජයේ ඉඩම්වලින් 81‍්ර% ක් ද පෞද්ගලික හිමිකාරත්වය සහිත ඉඩම්වලින් 90‍්‍%ක් ද මේ වනවිට නිදහස් කර අවසන්ව පවතී. ඉතිරි ඉඩම් ද කඩිනමින් නිදහස් කිරීමටත්, වන්දි ගෙවීම් කඩිනම් කිරීමටත් ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින් වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේ ය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු මහජන නියෝජිතයන් ද, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානිහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG