
පසුගිය දා එල්ලවුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයා ද වගකීම් විරහිතව කටයුතු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
මාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදීයි ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේ. අද (26) දිනය තුළදී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉල්ලා අස්වනු ඇති බවද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. පසුගිය 4 වනදා විදේශ රටකින් අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු බුද්ධි අංශ ප්‍රධානීන්නට ලැබී ඇති බවත් එම තොරතුරු ආරක්ෂක ලේකම්වරයාට යවා ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළා.
ආරක්ෂක ලේකම්වරයා අදාළ තොරතුරු පොලිස්පතිවරයා වෙත ලබා දී ඇති අතර ඔහු පොලිස් ප්‍රධානීන් පස් දෙනෙකුට එම තොරතුරු ලබා දී ඇති බවද ජනපති පෙන්වා දුන්නා. අප්‍රේල් 4 වනදා සිට 16 වනදා දක්වා දින 12 ක කාලයක් ගෙවී ගියද එම තොරතුරු කිසිවක් තමන්ට දැනුම් නොදුන් බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයා ද සුබ පැතීමට තමන් හමුවට පැමිණිය ද මේ කිසිවක් තමන්ට දැනුම් නොදුන් බවද ජනාධිපතිතුමා සදහන් කළා.
ප්‍රහාරයන් පසු ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේ ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයා ද තමන්ට මුහුණ නොදුන් අතර එමගින් පෙනී යන්නේ ආරක්ෂාව වෙනුවෙන් තමන්ගේ යුතුකම් ඉටු නොකිරීම බව යැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
සමස්ත මුස්ලිම් ප්‍රජාව දෙස ත්‍රස්තවාදීන් ලෙස නොබලන ලෙස ද ජනාධිපතිවරයා සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කර සිටියා. ලෝක ත්‍රස්තවාදය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ව්‍යාප්ත වීම ද සමීප සබදතා පවත්වන බැවින් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ලංකාවේ කළ මෙහෙයුම් මෙම ප්‍රහාරය වේගවත් වීමට බලපෑම් ඇති කර ඇති බවට සැකකරන බවද ජනපති පෙන්වා දුන්නා. මේ අතර ඉදිරියේ දී දිවයිනේ සෑම නිවසක්ම පරීක්ෂා කිරීමට ආරක්ෂක අංශවලට උපදෙස් ලබාදී ඇති බවද ජනාධිපතිතුමා සදහන් කළා. හදිසි නීතිය යටතේ ආරක්ෂක අංශවලට ඊට අදාළ බලතල ලබාදී ඇති බවයි ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
Post a Comment