Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පාස්කු ඉරිදා ප්‍රහාරයට රටවල් රැසකින් ශෝකය පළකෙරේ  

Add comments

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකිමින් හා ශ්‍රී ලංකාවාසී ජනතාවට ශෝකය පළකරමින් රටවල් ගණනාවකින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩ එවා තිබෙනවා.

ස්කොට්ලන්ත අග්‍රාමාත්‍ය නිකොලා ස්ටර්ජන් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පණිවුඩයක් එවමින් සදහන් කරන්නේ අදුරු සහ අසීරු අවස්ථාවකට මුහුණදී සිටින ශ්‍රී ලංකාව සමග ස්කොට්ලන්ත රජය ප්‍රමුඛ ජනතාව එකට එක්ව සිටින බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිත හානිවූ සහ තුවාල ලැබූ අහිංසක වැසියන් හා ඔවුන්ගේ පවුල් වෙත කණගාටුව පළකරමින් හා එම ත්‍රස්ත ක්‍රියාව හෙළා දකිමින් වෙනිසියුලා ජනාධිපති ජුවාන් ග්වයිඩෝ මහතා ද ශෝක පණිවුඩයක් එවා තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් පිළිබද කණගාටුව පළකරමින් තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවයි ජෝර්ජියා අග්‍රාමාත්‍ය මාමුකා බක්ටඩ්සේ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

මැලේසියා අග්‍රාමාත්‍ය ආචාර්ය මහතීර් බින් මොහමඩ් මහතා ද අග්‍රාමාත්‍යවරයා වෙත පණිවුඩයක් එවමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකා රජය හා ජනතාව වෙත මැලේසියා රජයේ සහ ජනතාවගේ බලවත් ශෝකය පළකරන බවයි.

ශ්‍රී ලංකාවට එල්ල වූ බිහිසුනු ත්‍රස්ත ප්‍රහාරය පිළිබද බලවත් කම්පනයට හා කණගාටුවට පත්වන බව තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චන් ඕ චා මහතා පවසනවා.

මියන්මාර අග්‍රාමාත්‍ය අවුන් සාන් සුකී මහත්මිය ද අග්‍රාමාත්‍යවරයා වෙත ශෝක පණිවුඩයක් එවා තිබෙනවා. සියලු ආකාරයේ ත්‍රස්ත ප්‍රහාර දැඩිව හෙළාදකින බවත් මෙම අසීරු අවස්ථාවේ මියන්මාර රජය හා ජනතාව ශ්‍රී ලංකාව සමග එක්ව සිටින බවත් එම පණිවුඩයේ සදහන්.

ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩි ලෙස හෙලාදකිමින් වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆුක් මහතා ද ශෝක පණිවුඩයක් එවා තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය දැඩි ලෙස හෙළාදකින බවයි බහරේන් අග්‍රාමාත්‍ය කලීෆා බින් සල්මන් අල් කලීෆා මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත එවූ පණිවුඩයෙහි දැක්වෙන්නේ. විපතට පත්වූවන්ගේ පවුල් වෙත හා සමස්ත මිත්‍රශීලී ශ්‍රී ලාංකිකයන් වෙත ඔහු සිය කණගාටුව පළකරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ටියුනීසියා ජනාධිපති බෙජී කයිඩ් එස්සෙබ්සි මහතා ද ශෝක පණිවුඩයක් එවා තිබෙනවා. සිය පුරවැසියන්ගේ හෘදයාංගම සංවේගය ද ශ්‍රී ලාංකික ජනතාව වෙත පළකර සිටින බවයි  එහි දැක්වෙන්නේ.

බ්‍රිතාන්‍ය,  ඉන්දියාව,  ලාඕසය,  කටාර්,  උතුරු මැසිඩෝනියාව,  නවසීලන්තය,  ජපානය,  සිරියාව,  ෆීජි රාජ්‍යය,  කිර්ගිස්ථානය,  ලැට්වියාව හා මෝල්ටාව ඇතුළු රටවල් රැසක නායකයින් හා සංවිධාන ද පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ශෝක පණිවුඩ එවා තිබෙනවා.

 

 

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG