මත්ද්‍රව්‍ය විරෝධී සටනේදී තමා තනි වී නොමැති බවත් රටේ ජනතාව සියයට අනූවක් පමණ එම සටන සමග එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. රත්නපුරයේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.
සබරගමුව ලස්සනයි වැඩසටහන හදුන්වාදීම සහ කිතුල් සම්බන්ධ ප්‍රඥප්තිය එළිදැක්වීම වෙනුවෙන් සබරගමුව පළාත් සභා සංකීර්ණයේදී උත්සවයක් පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. සබරගමුව පළාතත් එහි ජනතාවගේ ආර්ථිකයත් නංවාලීමට සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්ෂේත්‍ර 15 ක් ඔස්සේ සබරගමුව ලස්සනයි වැඩසටහන හදුන්වා දී තිබෙනවා. සබරගමුව ලස්සනයි නාම පුවරුව දුරස්ථ පාලකයක් මඟින් නිරාවරණය කිරීම සිදු කෙරුණේ ජනාධිපතිතුමාගේ අතින්. ඒ වෙනුවෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථය සබරගමුව පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. කිතුල – කිතුල වෙබ් අඩවිය සහ සබරගමුව පළාතේ පාසල් තොරතුරු ඇතුළත් සිප් තතු වෙබ් අඩවිය එළිදැක්වීම සිදු කෙරුණේද ජනාධිපතිතුමා අතින්. ජනාධිපතිතුමා වෙනුවෙන් සිහිවටන තිළිණයක් මෙහිදී පිළිගන්වනු ලැබුවා. එහිදී රැස්ව සිටි පිරිස ඇමතූ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ තමා සියලු තීන්දු තීරණ ගන්නේ රටේ අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනැගීමට බවයි.
කිතුල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනය නැරඹීමට ජනාධිපතිතුමා එක් වූයේ ඉන් අනතුරුවයි. සබරගමුව ලස්සනයි වැඩසටහන යටතේ සබරගමු පළාත් සභාවේ රුපියල් මිලියන 125 ක් වැය කර ඇහැළියගොඩ මහ රෝහලේ ඉදිකළ පස් මහල් ගොඩනැගිල්ලේ ඇදන් 120 කින් යුත් වාට්ටු සංකීර්ණය ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. ඇහැළියගොඩ ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන් දෙදෙනෙකුගේ රුපියල් ලක්ෂ 65 ක වියදමින් ඉදිකළ නව භික්ෂු වාට්ටු සංකීර්ණය සහ ව්‍යාපාරික මහතෙකු රුපියල් ලක්ෂ 50 ක් වැය කර ඉදිකළ එක්ස්රේ අංශය ද මේ සමඟ ජනතා අයිතියට පත් කෙරුණා. මෙම සංවර්ධන කටයුතු ජනතා අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. ඇහැළියගොඩ මූලික රෝහලේ ඓතිහාසික සංවර්ධනය උදෙසා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ හිටපු වෛද්‍ය අධිකාරී ශාන්ත අබේවික්‍රම මහතා වෙනුවෙන් ජනාධිපතිතුමා අතින් ඇගයීම් සම්මානයක් මෙහිදී පිරිනැමුවා. ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ කලාවිටිය සිරි සමන් විද්‍යාලයේ රුපියල් මිලියන 15.89 ක් වැයකර ඉදිකළ ගුරු නිවාසය විවෘත කිරීම සහ රුපියල් මිලියන 22.83ක් වැය කර ඉදිකළ විද්‍යාගාරය, ගණිතාගාරය, පුස්තකාලය ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පත් කෙරුණා. සමරු ඵලකය නිරාවරණය කර නව ඉදිකිරීම් සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා සිසු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමටද එක් වුණා.

The post ජනතාවගෙන් වැඩි පිරිස මත් විරෝධී සටන සමඟයි – ජනපති පවසයි appeared first on ITN News.
Post a Comment