Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීන කතගේ තත්ත්වය යහපත් – බොරු ප්‍රචාර එපා : සෞඛ්‍ය අංශ ඉල්ලයි (VIDEO)  

Add comments

කොරෝනා වෛරසය ආසාදිත වූ බවට මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හදුනාගෙන ඇත්තේ එක් රෝගියෙකු පමණක් බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. මේ පිළිබද වැරදි තොරතුරු වලට නොරැවටෙන ලෙසත් රෝගය පාලනය කිරීමට සියලු පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර කොරෝනා වෛරසයෙන් චීනය තුළ මියගිය සංඛ්‍යාව 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව හයදහසක්. චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් තවත් කණ්ඩායමක් අද උදෑසන දිවයිනට පැමිණියා.

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් ලොව පුරා රටවල් 18 කින් හමුවුණා.    චීනයට අමතරව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන්. සෙසු රටවලින් වාර්තා වී ඇති කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80 කට ආසන්නයි. මැදපෙරදිගින් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියෙකු පිළිබද ප්‍රථමවරට  අද වාර්තා වුණා. ඒ  එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්. එම රෝගියාද චීනයේ වුහාන් ප්‍රාන්තයේ සිට පැමිණ ඇති බව සදහන්. වෛරසය මැඩපැවැත්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩසටහන් රැසක් ආරම්භකර තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියාව කොරෝනා වෛරසයට සමාන වෛරසයක් නිෂ්පාදනය කර තිබෙනවා. චීනයෙන් පිටත රටක් මෙම වෛරසයට ප්‍රතිකාර සෙවීම සදහා සාර්ථක පරීක්ෂණයක් කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

බ්‍රිතාන්‍යය චීනය සමග සිදු කරන සියලු ගුවන් ගමන් නතර කර තිබෙනවා. යුනයිටඩ් එයාර් ලයින් සහ එයාර් කැනඩා සමාගම්ද චීනය සමග ගුවන්ගමන් සිමා කළා. හොංකොං සහ චීන දේශසීමා  ආරක්ෂාව තර කිරීමට හොංකොං රාජ්‍ය පියවර ගත්තා.  යුරෝපා සංගමය ද චීනයෙන් සිය ජනතාව ඉවත් කරගෙන තිබෙනවා. ඉදිරි දින 10 තුළ කොරෝනා වෛරසය පැතිරයාමේ වේගය අඩාල වන බවයි චීන විශේෂඥයන් පවසන්නේ.

කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගියෙකු මෙරටින් පළමුවරට වාර්තා වූයේ පසුගිය සදුදා දිනයේයි. චීන ජාතික කාන්තාවක වන ඇය හුබේ ප්‍රාන්තයේ සිටයි මෙරටට පැමිණ තිබෙන්නේ. ඇය සමග තවත් කණ්ඩායමක් පැමිණ ඇති අතර ඔවුන් දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා. මෙම කාන්තාව මේ වනවිටත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබනවා. ඇය මීගමුව, සීගිරිය, මහනුවර, නුවරඑළිය, ගාල්ල, අහුන්ගල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරය කරඇති බවයි හෙළිවුණේ. මෙම කාන්තාව අහුන්ගල්ල ප්‍රදේශයේ නවාතැන්ගෙන සිටි ස්ථානයේ සේවිකාවකට වෛරසය ආසාදනය වූ බවට වන සැකය මත ඇය ද රෝහල් ගතකර තිබෙනවා. මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට පැමිණි කාන්තාවක ඇතුළු තවත් 23 දෙනෙකු ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ බවට වාර්තා වුණා. මෙම රෝගීන් 8 දෙනෙකුගේ සාම්පල පරීක්ෂාවට යොමුකර තිබෙනවා.

චීනයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 380 දෙනෙකු මේ වනවිට දිවයිනට පැමිණ සිටිනවා. ඊයේ රාත්‍රියේ සිසුන් 14 දෙනෙකු සහ අද අලුයම සිසුන් 25 දෙනෙකු මෙරටට පැමිණියා. එම සිසුන් සදහා ගුවන් තොටුපොල විශේෂ වෛද්‍ය ඒකකය උපදෙස් ලබාදීමටයි කටයුතු කළේ.

චීනයේ වුහාන් ප්‍රාන්තයේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට උපරිම පියවර ගෙන ඇති බව චීනයේ ශ්‍රී ලංකා වැඩබලන තානාපති කේ කේ යෝගනාදන් මහතා පවසනවා. ඔවුන් කිසිවෙකුටත් රෝගය වැළදී නැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

චීන ජාතිකයින් ඇතුළු විදේශිකයින් මෙරටට පැමිණීමේ දී විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් කටුනායක ගුවන් තොටුපොලෙහි ක්‍රියාත්මකයි. ගුවන් තොටුපොල විෂබීජ හරණය කිරීම සදහා විශේෂ ඒකක පිහිටුවා තිබෙනවා. එම පරිශ්‍රයේ අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල විෂබීජහරණ ඒකක 22 ක් පිහිටුවීමට පියවර ගැණුනා.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතැම් පිරිස් ජනතාව බියගැන්වීමට ව්‍යාජ ප්‍රචාර ගෙනයන බව රජය පවසනවා. එවැනි ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර විවිධ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය මෙන්ම ජනතාව නොමග යවන සුළු ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශය ද ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොරෝනා වෛරසය පිළිබද තොරතුරු දැනගැනීම සදහා විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වාදීමට පියවර ගැණුනා. සෞඛ්‍ය ප්‍රවර්ධන ඒකකයේ 0710 107 107 සහ ආපදා ඒකකයේ 0113 071 073 යන අංකවලින් මේ සම්බන්ධයෙන් සියලු තොරතුරු ලබාගත හැකියි.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ උපදෙස් නිකුත්කර තිබෙනවා. ඒ අනුව රෝග ලක්ෂණ පවතී නම් ගමන් බිමන් සීමා කළ යුතුයි. රෝගී පුද්ගලයින් මුඛ ආවරණ භාවිත කිරීම ආරක්ෂිත පියවරක් වනවා. කැස්ස සහ කිවිසුම් යන අවස්ථාවල දී වැලමිට ප්‍රදේශයෙන් මුහුණ ආවරණය කිරීමෙන් වෛරසය පැතිරයාම පාලනය කළ හැකියි. ටිෂූ හෝ ලේන්සු භාවිත කරන්නේ නම් එය ආරක්ෂාකාරීව ඉවත් කළ යුතුයි. ජනාකීර්ණ ප්‍රදේශ මගහැරිය යුතු අතර රෝග ලක්ෂණ දුටු වහාම වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ.

The post චීන කතගේ තත්ත්වය යහපත් – බොරු ප්‍රචාර එපා : සෞඛ්‍ය අංශ ඉල්ලයි (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG