Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

උමර්ගේ සැලසුම හෙළිවේ  

Add comments

පාස්කු ප්‍රහාර මාලාවේදී මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් නසාර් ඊට දින දෙකකට පෙර එනම් මහසිකුරාදා එම දේවස්ථානයට පැමිණ ඇති බව පාස්කු ප්‍රහාරය පිලිබද සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය  වුණා.

ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා මඩකලපුව සියෝන් දේවස්ථානයේ ගණේෂමුර්ති තිරුකුමාර් නමැති පියතුමන් එක්වුණා. පියතුමා සදහන් කළේ පාස්කු ඉරිදා උදෑසන දේවස්ථානයට මින් පෙර නොපැමිණි පුද්ගලයකු පැමිණ සිටින ආකාරය දැක ගැනීමට ලැබුණු බවයි. ඒ අනුව ඔහු කවුරුන්දැයි සොයා බැලීමට ඔහු අසලට ගොස් තමන් තොරතුරු විමසා සිටි බවද පියතුමා සදහන් කළා. එම පුද්ගලයා උමර් ලෙස තමන්ම හදුන්වා දුන් බවත් දේවස්ථානය නැරඹීම සදහා පැමිණි බවත් පියතුමා පවසා සිටියා.

තමන් ඔහුට දේවස්ථානය තුළට පැමිණීමට ආරාධනා කළ විට එය ප්‍රතික්ෂේප කරමින් පිටත සිටගෙන සිටි බවයි පියතුමා සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කළේ. නැවත ඔහු පැමිණි කරුණ පිලිබද විමසූ විට මවට අසනීපයක් ඇති බැවින් දේවයාඥාවක් සිදු කර ගැනීමට අවශ්‍ය බව සදහන් කර තිබෙනවා. ඔහු සිය මව උම්මා යනුවෙන් ඇමතූ නිසා එම පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු බව දැනගත් බවද පියතුමා සදහන් කළා. සියෝන් දේවස්ථානයේ වෙනත් ශාඛාවකට යාමට තිබූ  බැවින් එම පුද්ගලයා දේවස්ථානයේ කටයුතු කළ ස්ටැන්ලි පියතුමන් වෙත හදුන්වාදී පිටව ගිය බවද තිරුකුමාර් පියතුමා පැවසුවා.

දේවස්ථානයේ සේවය කරන යෝගනාදම් නම් පුද්ගලයා සදහන් කර ඇත්තේ ඊට පෙර දිනකදී ද උමර් නමැති පුද්ගලයා දේවස්ථානයට පැමිණ ඇති බවයි.  ඡායාරූපයක් පෙන්වමින් එහි සිටින පුද්ගලයා හදුනාගත හැකිද  යන්න කොමිසම විමසුවා. එම සේයාරුව තම ජීවිතයේ කිසිදු දවසක අමතක නොවන රූපයක් බව සදහන් කළ පියතුමා එහි සිටින්නේ උමර් බව කියා සිටියා.

නාගයියා ස්ටැන්ලි පියතුමාද කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අතර දේවස්ථානයට ගොස් වාඩිවන ලෙස උමර්ට දැනුම් දුන්නද ඔහු එය ප්‍රතික්ෂේප කළ බව කියා සිටියා. පෙරවරු 09 ට පමණ දේවමෙහෙය ආරම්භ වී ඇති අතර උමර් නමැති පුද්ගලයා කලින් සිටි ස්ථානයේ නොසිටි බව නිරීක්ෂණය කළ බවයි ස්ටැන්ලි පියතුමා පැවසුවේ.  පසුව බෝම්බය පුපුරා යන හඩ ඇසුනු බවද පියතුමා කියා සිටියා.

 

The post උමර්ගේ සැලසුම හෙළිවේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG