ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද දිනයේ සිදු කරන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ළහඳපුර මහත්මිය පවසනවා. ඒ සඳහා විශේෂඥයින් කණ්ඩායමක් ඊයේ දිනයේදී පිටත්ව ගිය බවයි ඇය තවදුරටත් සඳහන් කරන්නේ.
නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහෙයුමට එක් වූ සියලු පාර්ශ්ව සමග අද සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කරනවා. මේ අතර නෞකාව අවට මුහුදෙන් ලබා ගත් තෙල් සාම්පලයන්හි රසායනාගාර වාර්තා එළිදැක්වීමට නියමිතයි. මේ වන විට නිව් ඩයමන්ඩ් නෞකාව ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන්කන්ද තුඩුවට නාවික සැතපුම් 52 ක් දුරින් ටග් යාත්‍රා යොදා ගනිමින් ආරක්ෂා සහිතව ගැඹුරු මුහුදේ ස්ථානගත කර තිබෙනවා.
ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළ ආරක්ෂක බලකා හා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් එක්ව නෞකාවේ ඉදිරිපස කොටසේ නිරීක්ෂණ කටයුතු වල ද ඊයේ නිරත වූවා. මේ වන විට නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගම හා ගලවා ගැනීමේ සමාගම එක්ව නෞකාවේ අළුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. නෞකාවේ කපිතාන්වරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම කරුණු අද අධිකරණය වෙත ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා උපදෙස් ලබා ගැනීමට නියමිතයි.
The post ඩයමන්ඩ් නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ලබාගැනීම අද appeared first on ITN News.
Post a Comment