බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රැඳවූවන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය පිටුපස ඇත්තේ මත්ද්‍රව්‍ය මාෆියාව බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා. මේ වන විට ආහාර වර්ජනයේ යෙදී සිටින්නේ රැඳවූවන් 20 දෙනෙකු වන අතර ඊට එක් වූ 25 දෙනෙකු එම වර්ජනයෙන් මේ වන විට ඉවත් වී තිබෙනවා.
මේ අතර ආහාර වර්ජනයට කිසිඳු නීතිමය හෝ මානූෂීය පදනමක් නැති බවයි මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසන්නේ. දීර්ඝ කාලයක් පුරා බන්ධනාගාර තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වත්මන් වැඩපිළිවෙළ අඩපණ කිරීම මෙම ආහාර වර්ජනයේ යටි අරමුණ බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
පසුගිය බ්‍රහස්පතින්දා පෙරවරුවේ බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින රැඳවූවන් 45 දෙනෙකු මෙම ආහාර වර්ජනය ආරම්භ කළා. ඒ රැඳවුවන් හමුවීමට පැමිණෙන ඥාතීන් පරීක්ෂා කිරීම නොකරන ලෙස ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.
මෙම වර්ජනයට එක්ව සිටින්නේ මත්ද්‍රව්‍ය ඇතුළු වෙනත් ජාවාරම්වලට සම්බන්ධ රැඳවූවන් පිරිසකුයි. බන්ධනාගාර නීතිය හෝ ජාත්‍යන්තර සම්මුතීන් කිසිවක් උල්ලංඝනය කර නොමැති පසුබිමක මත්ද්‍රව්‍ය මැඩලීමට එරෙහි රජයේ වැඩපිළිවෙළ වෙනතකට යොමු කිරීම මෙම වර්ජනයේ මුඛ්‍ය අරමුණ වී තිබෙන බව නීතිවිශාරදයන් පෙන්වා දෙනවා.
වසර ගණනක් පුරා මත්ද්‍රව්‍ය හා පාතාලයට එරෙහි මෙහෙයුම් මෙරට තුළ ක්‍රියාත්මක කෙරුණා. එහෙත් පසුගිය කාලය පුරා දිනෙන් දින ඉහළ ගිය පාතාල ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් තුළින් හෙළි වුණේ එම වැඩපිළිවෙළ යථාර්ථයක් නොවූ බවයි. ඒ අනුවයි වර්තමාන ජනාධිපතිතුමා හා රජය මත්ද්‍රව්‍ය සහ පාතාලයට එරෙහි දැඩි තීන්දු තිරණ ගනු ලැබුවේ. අද වන විට දෛනිකව සිදුවන වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් අනුව මත්ද්‍රව්‍ය හා පාතාලයට එරෙහි සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව නොරහසක්. මෙම ආහාර වර්ජනය පිටුපස පවතින්නේ එම වැඩපිළිවෙළ අඩාල කිරීමේ අරමුණ බව ඉතා පැහැදිලියි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා පාතාල ක්‍රියාකාරීන් නිසා මෙරට අනාගත තරුණ පරපුර දහස් ගණනින් රටට අහිමිවුණා. දහස් ගණන් දෙමව්පියන් මෙන්ම බිරින්දෑවරුන්ට මත්කුඩු හා පාතාලය නිසා තම ඥාතීන් අහිමි වුණා. රටක් ලෙස අගාදයට ඇද වැටුණා. මෙසේ ආහාර වර්ජනයේ නිරතව සිටින්නේත් ඊට මුළුමණින්ම වගකිව යුතු පිරිසක් බව නොරහසක්. තරුණ පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය හා පාතාල මාෆියාවට කිසිඳු ඉඩක් නොතබන බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසන්නේ.
අද වන විට ආහාර වර්ජනයේ නිරතව සිටින්නේ රැඳවුවන් 20 දෙනෙකු පමණයි. හෙට වන විට එය තවත් අඩුවිය හැකියි. එහෙත් ඔවුන්ගේ ඉල්ලීම වෙනුවෙන් දහස් ගණනක් දෙමව්පියන්ගේ හා බිරින්දෑවරුන්ගේ කඳුළට තිත තියන මත්ද්‍රව්‍ය හා පාතාලයට එරෙහි මෙහෙයුම බිඳකදු හෝ අඩු නොකරන මෙන් වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප ඉල්ලා සිටින්නේ අයිතීන් ඇත්තේ මිනීමරුවන්ට හා කුඩ්ඩන්ට නොව මෙරට අනාගත පරපුරට බව අවධාරණය කරමින්.
The post බූස්සේ කෑම වර්ජනය කුඩු මාෆියාවේ මෙහෙයුමක් – බන්ධනාගාර කොමසාරිස් හෙළි කරයි appeared first on ITN News.
Post a Comment