Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල පර්යේෂණ හා තාක්‍ෂණය සවිබල ගන්වමින් චීන-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමක්  

Add comments

චීන විද්‍යා ඇකඩමිය (CAS) සහ ශ්‍රී ලංකාවේ ජල සම්පාදන අමාත්‍යාංශය අතර ජල පර්යේෂණ හා තාක්ෂණ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමට අනුබද්ධිත ගිවිසුමක් අත්සන් කරන ලදී.

ශ්‍රී ලංකාවේ ජල සම්පාදන අමාත්‍යාංශය නියෝජනය කරමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සහ චීන විද්‍යා ඇකඩමිය නියෝජනය කරමින් වැඩ බලන  තානාපතිතුමන් වන හු වෙයි මහතා විසින් ශ්‍රී ලංකාවේදී මෙම ගිවිසුම අත්සන් කරන ලදී. යැං ජිචි මහතා සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෑතකදී පැවති ඉහළ පෙළේ
සංචාරයකදී දෙරට අතර ජල සම්පාදන හා තාක්‍ෂණික සහයෝගීතාව පිළිබඳව පැවති වැදගත් සම්මුතියේ පසු විපරමක් ලෙස මෙය අත්සන් තැබුණි.

ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් පවතින නිදන්ගත වකුගඩු රෝගයට (CKDu) පිළියම් සෙවීම සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ සඳහා පිරිසිදු පානිය ජලය සැපයීම ඉලක්ක කරගනිමින් 2014 වර්ෂයේදී එවකට පැවති රජය සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ මුලිකත්වයෙන් මෙම ව්‍යපෘතිය ආරම්භ කරන ලද අතර මේ සම්බන්ධ මුල් අවබෝධතා ගිවිසුම 2015 මාර්තු මාසයේදී අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමේ සඳහන් ප්‍රධාන අරමුණු වන්නේ ශ්‍රී ලංකාවේ නිදන්ගත වකුගඩු රෝගය ඇතිවීමට හා ව්‍යාප්ත වීමට හේතු විය හැකි සාධක හඳුනා ගැනීමයි.

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය බලපෑමට ලක් වූ ප්‍රදේශවල භූගත ජලය පිරිපහදු කිරීමේ ක්‍රම සහ තාක්ෂණයන් සංවර්ධනය කිරීම, වියළි ප්‍රදේශවල වැසි ජලය එක්රැස් කිරීම සහ ක්‍රමතාක්‍ෂණයන් යොදා භාවිතා කිරීම, ඒකාබද්ධ ජල සම්පාදන හා සනීපාරක්ෂක යටිතල පහසුකම් සංවර්ධන සැලැස්ම, ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණ සැලැස්ම සහ ඉඩම් පරිහරණ සැලැස්ම සකස් කිරීම මඟින් ශ්‍රී ලංකා රජයට උපකාර කිරීමයි. මෙම අරමුණු 2016 දී ආරම්භ කරන ලද ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන චීන ශ්‍රී ලංකා පර්යේෂණ අරමුදල් ව්‍යාපෘතිය (CSLRGP) හරහා ක්‍රියාත්මක වේ.

මෙම ගිවිසුමෙහි ප්‍රතිඵලයක් ලෙස ජල තාක්‍ෂණය පිළිබඳ ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය (JRDC) මෑතකදී මහනුවර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පරිශ්‍රයේ දී විශිෂ්ඨ ලෙස ස්ථාපිත කරන ලදී. මෙම මධ්‍යස්ථානය චීන යුආන් මිලියන 124 කට අධික (රු. බිලියන 3.4) චීන අරමුදල් ප්‍රදානයක් යටතේ වර්ග මීටර 5000 ක මුළු ඉදිකිරීම් ප්‍රදේශයක ඉදිකොට ඇත. ඉදිරි වසර 5 තුළ චීන විද්‍යා ඇකඩමිය විසින් වසරකට චීන යුආන් 6-8 ක අරමුදල් (රු. මිලියන 165-220) ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය සමඟ ඇති සහයෝගිතාවය වෙනුවෙන් සපයනු ඇත.

මෙම ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානයෙහි මෙහෙවර වන්නේ ජලය හා සෞඛ්‍ය පර්යේෂකයන්ට සහ වෘත්තිකයින්ට ජලය සම්බන්ධ සෞඛ්‍ය ගැටලු විසඳීම පිළිබඳ උසස් පර්යේෂණ සඳහා එක්ව කටයුතු කිරීමට සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නව දැනුම බෙදා හැරීම සඳහා පහසුකම් සැලසීමයි.

මෙම පරීක්ෂණ මධ්‍යස්ථානයෙහි රුපියල් මිලියන 600 කට වඩා වැඩි වටිනාකමකින් යුතු අති නවීන පර්යේෂණ හා විශ්ලේෂණ උපකරණ 70 කට අධික සංඛ්‍යාවක් ස්ථාපනය කරමින් පවතී. මීට අමතරව පිරිසිදු පානීය ජලය සැපයීමට අදාල පර්යේෂණ පැවැත්වීමට, පර්යේෂණ පුහුණුවට සහ තාක්‍ෂණ සංවර්ධනයට, නියමු ආකෘති ක්‍රියාත්මක කිරීමට, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට පහසුකම් සැපයීම මේ මඟින් සිදුවේ.

ජල විද්‍යාව හා සම්බන්ධ මුලික දියුණුව ළඟා කර ගැනීම, නව සොයා ගැනීම් සැලසුම් කොට නිපදවා වාණිජකරණය කිරීමට දේශීය හා ජාත්‍යන්තර ප්‍රජාවට පහසුකම් සැලසීම, ජල පර්යේෂණ හා තාක්‍ෂණය සඳහා වූ මෙම මධ්‍යස්ථානයෙන් අපේක්ෂා කෙරේ. මෙම ක්‍රියාකාරකම් තුළින්, කර්මාන්ත ක්‍ෂේත්‍රයේ, රාජ්‍ය හා ප්‍රජා හවුල්කරුවන් සම්බන්ධ කර ගනිමින් ඉහළම මට්ටමේ ඉංජිනේරු විද්‍යාව යොදා ගනිමින් කලාපීය ජල ගැටලු සඳහා ගෝලීයව පරිවර්තනය කළ හැකි විසඳුම් සංවර්ධනය කිරීම මෙම මධ්‍යස්ථානය මඟින් සිඳුකෙරෙනු ඇත.

මෙම අවබෝධතා ගිවිසුම හරහා පවත්වන ලද අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් යටතේ පසුගිය වසර පහ තුළ ජල සම්පාදන හා වෛද්‍ය වෘත්තිකයින් 66 දෙනෙකු චීන විද්‍යා ඇකඩමිය මඟින් පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වූ අතර, දැනට ශ්‍රී ලාංකික උපාධිධාරී සිසුන් 53 දෙනෙකු (ආචාර්ය උපාධිධාරීන් 19 දෙනෙකු ද ඇතුළුව) චීන විද්‍යා ඇකඩමියෙහි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබති (UCAS). වැඩිවන ජනගහනය, දේශගුණික විපර්යාස සහ පරිසර දූෂණය හේතුවෙන් ලොව පුරා ජල සම්පත නිරන්තරයෙන් තර්ජනයට ලක්ව ඇති යුගයක, ඒකාබද්ධ පර්යේෂණ මධ්‍යස්ථානය පිහිටුවීම මඟින් වත්මන් හා අනාගත ජල අභියෝගයන්, ඵලදායි ලෙස ජය ගැනීම සඳහා පර්යේෂණ ප්‍රජාව එකතු කරමින් තිරසාර විසඳුම් ලබාදීමට අපේක්ෂා කරයි.

සමස්ත ශ්‍රී ලාංකීය ප්‍රජාවටම සුරක්ෂිත පානීය ජලය සැපයීම, සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීම යන දැක්ම පෙරදැරි කරගනිමින් සහ ‘තිරසාර සංවර්ධන ඉලක්ක අංක 6’ වැනි ජාත්‍යන්තර ඉලක්ක අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ ජල අංශය මෙම සහයෝගීතාවය මඟින් ජලය හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුවෙහි ඉහල සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට අපේක්ෂා කරයි.

මෙම මූලාරම්භය සාක්ෂාත් කර ගැනීමේදී ජල සම්පාදන අමාත්‍යාංශය, චීන විද්‍යා ඇකඩමිය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජාතික විද්‍යා පදනම විසින් සපයන ලද දායකත්වය එහි සාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් විය. එබැවින් මෙම ප්‍රධාන පාර්ශවකරුවන්ගෙන් ලද නොමද සහයෝගය බෙහෙවින් අගය කරනු ලැබේ.

The post ජල පර්යේෂණ හා තාක්‍ෂණය සවිබල ගන්වමින් චීන-ශ්‍රී ලංකා අවබෝධතා ගිවිසුමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG