Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මහර බන්ධනාගාර සිද්ධිය: 08 දෙනෙකු ජීවිතක්ෂයට – 71 දෙනෙකුට තුවාල  

Add comments

මහර බන්ධනාගාරය තුළ රැඳවූවන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමත් සමඟ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

71 දෙනෙකු තුවාල ලබා ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද ඒ අතර වනවා. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ  වනවිටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මහර බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟ රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමත් සමඟයි මෙම නොසන්සුන්කාරී තත්ත්වය හට ගැනුණේ. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ එය කැරැල්ලක් දක්වා වර්ධනය වීමත් සමඟ තත්ත්වය පාලනය  සඳහා බන්ධනාගාර නිලධාරින් අවම බලය භාවිත කළ බවයි. එහිදී වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති අතර තත්ත්වය වඩාත් උත්සන්න වීම හේතුවෙන් එය පාලනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමට පියවර ගැනුණා. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බන්ධනාගාර රැඳවූවන් ඇතුළත දේපලවලට දැඩි ලෙස හානි සිදු කර ඇති බවයි පොලීසිය පවසන්නේ. රැඳවූවන් බන්ධනාගාර පරිශ්‍රයේ පිහිටි සෞඛ්‍ය කාර්යාලයට මෙන්ම ගබඩාවට සහ තවත් ස්ථාන කිහිපයකට ගිනි තබා තිබෙනවා. ගින්න පැතිර යාම වැළැක්වීම සදහා ගිනි නිවීමේ රථ 06 ක්  ද යොදවනු ලැබුවා. බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තර කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 05 ක් ද කැදවා තිබුණා. නොසන්සුන්කාරී තත්ත්වය පාලනය සඳහා පොලිස් නිලධාරීන්  400 කට වැඩි පිරිසක් මෙන්ම විශේෂ කාර්ය බලකා නිලධාරීන් 200 ක් ද  යොමු කෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමේදී හැත්තෑ එක් දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර රාගම ශික්ෂණ රෝහලේ ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබනවා. එම නිලධාරීන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් අද අලුයම වන තෙක් බන්ධනාගාරයේ හටගත් ගින්න පැවති අතර අද දහවල් වන විට එය පාලනය කිරීමට හැකි වූ බව  බන්ධනාගාර නිලධාරීන් ප්‍රකාශ කළා. මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූ අවස්ථාවේ සිට අද උදෑසන වන තෙක්ම බන්ධනාගාර රැඳවූවන්ගේ ඥාතීන් බන්ධනාගාර පරිශ්‍රය ඉදිරිපට රැඳී සිටින ආකාරය දැක ගත හැකිවූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

මේ අතර  මහර බන්ධනාගාරයේ සිදු වූ කලහකාරී සිදු වීම සම්බන්ධයෙන් සොයා බැලීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා  ද එම ස්ථානයට පැමිණියා.

බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. එහෙත් බන්ධනාගාරය තුළ තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙන බව පොලිසිය පවසනවා.

 

The post මහර බන්ධනාගාර සිද්ධිය: 08 දෙනෙකු ජීවිතක්ෂයට – 71 දෙනෙකුට තුවාල appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG