Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජනපති සහ කෙන්යානු ජනපති අතර දුරකථන සංවාදයක්  

Add comments

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ කෙන්යානු ජනාධිපති උහුරු මුයිගයි කෙන්යාටා (Uhuru Muigai Kenyatta) මැතිතුමා අතර අද (03) උදෑසන සුහද දුරකථන සංවාදයක නිරත විය.

නායක දෙපළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වර්ධනය පිළිබඳ සතුට පළ කරමින් සහයෝගීතාව
තවදුරටත් තර කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

කොවිඩ් වසංගතය මර්දනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන ඇති පියවර සහ එන්නත්කරණ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබඳ ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා සිය ප්‍රසාදය පළ කළේය.

දැනටමත් ජනතාවගෙන් 70%කට එන්නත්කරණය සිදු කරමින් ක්‍රියාත්මක මෙම ක්‍රමවත් වැඩසටහන
සෙසු ජාතීන්ට ආදර්ශයට ගත හැකි බව එතුමා පැවසීය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කරමින් රෝගීන් සහ මරණ සංඛ්‍යාව හොඳින් කළමනාකරණය කරගත හැකි වූ නමුත් මෙම වසර මැද භාගයේ දී නව කොවිඩ් ප්‍රභේද මතු වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය. ඉතිහාසයේ පටන් විවිධ අභියෝගවලට මුහුණ දී, නැගීසිටීමේ හැකියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ඇති බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මෙම වසංගතය ද පාලනය කර සාර්ථකව නැගී සිටීමට හැකි බව සඳහන් කළේය.

නායක දෙපළ ගෝලීය සහ කලාපීය කරුණු පිළිබඳව ද අදහස් හුවමාරු කර ගත්හ.

හිටපු ජනාධිපති, වත්මන් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග තම සමීප සබඳතා සිහිපත් කළ ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා දෙරටේම ජනතාවගේ යහපත උදෙසා ශ්‍රී ලංකාව සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමග සමීපව කටයුතු කිරීමේ සිය අපේක්ෂාව පළ කළේය.

නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රධානතම රටක් වන කෙන්යාව ශ්‍රී ලංකාව සමග අඛණ්ඩ මිත්‍රත්වයෙන් කටයුතු කරන රටකි. 2020 දී දෙරට අතර තානාපති සබඳතාවල පනස් වසර සම්පූර්ණ වූ අතර ආර්ථික, වෙළෙඳ, ආයෝජන සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සහයෝගීතාව නව ඉහළ මට්ටමකට පිවිස ඇත.

The post ජනපති සහ කෙන්යානු ජනපති අතර දුරකථන සංවාදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG