
ලබන සතියේ දී පැවැත්වීමට නියමිත ඇමෙරිකා සහ උතුරු කොරියා නායකයින්ගේ හමුව සම්බන්ධ කටයුතු හොඳින් සිදුවන බව ඇමෙරිකාව පවසනවා. මේ වන විට එම සාකච්ඡා සම්බන්ධයෙන් තොරතුරු රැසක් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.
උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව ලබන 12 වනදා පැවැත්වීමට නියමිතයි. ධවල මන්දිරයේ මාධ්‍ය ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් ප්‍රකාශ කර ඇත්තේ එදින පෙරවරු 9ට පමණ දෙරටේ නායකයින් සිංගප්පූරුවේ ශැන්ග්‍රිලා හෝටලයේ දී හමුවනු ඇති බවයි. එම ස්ථානයට විශාල හමුදා ආරක්ෂාවක් ද යෙදවීමට ද පියවර ගෙන තිබෙනවා. ඇමෙරිකා ජනාධිපතිවරයෙකු සහ උතුරු කොරියානු නායකයෙකු මුහුණට මුහුණලා හමුවන ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි ඉතිහාසයට එක් වන්නේ. ලබන සතියේ දී පැවැත්වීමට නියමිත ඓතිහාසික සාකච්ඡා තුළින් න්‍යෂ්ටික අවි භාවිතය පිළිබඳ සහ ගෝලීය ආර්ථිකය පිළිබඳ සාකච්ඡා කෙරෙනු ඇති. පසුගිය සති කිහිපයේ දී මෙම සාකච්ඡා පිළිබඳ මත ගැටුම් තිබුණ ද මේ වන විට සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Post a Comment