Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ තෙමහල් මන්දිරය සඟසතු කෙරේ  

Add comments

තලවතුගොඩ සුධර්මාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද ශ‍්‍රී සෝමානන්ද තෙමහල් මන්දිරය සඟ සතුකොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (30) පස්වරුවේ සිදු විය.

ධර්මශාලාවකින්, පුස්තකාලයකින් සහ සංඝාවාසයකින් යුක්ත මෙම තෙමහල් ගොඩනැගිල්ල විහාරස්ථ දායක සභාවේ මුල්‍ය පරිත්‍යාගයෙන් ඉදිකර තිබෙන අතර වැය කර ඇති මුදල රුපියල් මිලියන 25 කි.

සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිතුමා නව තෙමහල් මන්දිරය විවෘත කරනු ලැබීය.

බෝසත් ශ‍්‍රී ලංකා පදනම මඟින් බුරුමයේ සිට වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා, කේශ ධාතුන් වහන්සේලා ප‍්‍රමුඛ මහ රහත් ධාතුන් වහන්සේ මහජන වන්දනාමානය සඳහා නිරාවරණය කෙරුණේ ද ජනාධිපතිතුමාගේ සුරතිනි.

විහාරාධිපති මහාචාර්ය කිවුලේගෙදර නාරද නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය එහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

බෝසත් ශ‍්‍රී ලංකා පදනමේ සභාපති විශ්ව කීර්ති ශ‍්‍රී දේශමාන්‍ය කේ.ඒ.ඩී.එම්. උමේෂ් චතුර මහතා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

උඩරට අමරපුර මහා නිකායේ මහානායක ශාසනවංශාලංකාර සිද්ධම්ම භාණක ධර්ම ශාස්ත‍්‍රශූරී මහෝපාධ්‍යාය ශාස්ත‍්‍රපති පණ්ඩිත පූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නායක ස්වාමින්වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වූහ.

අමරපුර ධර්මරක්ෂිත මහා නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත ශාස්ත‍්‍රපති පූජ්‍ය ති‍්‍රකුණාමලයේ ආනන්ද නායක ස්වාමින්වහන්සේ, රාජකීය පණ්ඩිත පූජ්‍ය අත්තරගම වජිරජෝති අනුනායක ස්වාමින්වහන්සේ, කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙනේ පරිවේණාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය බලංගොඩ සෝභිත නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය විජයදාස රාජපක්ෂ, ඒ.එච්.එම්. ෆවුසි, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් සහ ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG