” ලෝකය වෙනස් කිරීම ඔබේ ඒකායන අරමුණ නම්, ඒ සඳහා ඔබට තිබෙන හොඳම ආයුධය මාධ්‍යවේදයයි “. මේ ලෝකේ හැම දෙයක්ම හැදිලා තියෙන්නේ ඇත්ත හා බොරුව අතර තියෙන පුංචි ඉඩකඩ ඇතුළෙ කියලා මම ඔබට කිව්වොත්??? ඔබ මොකද හිතන්නේ?
ටිකක් හිතන්න. අපි ජීවත් වෙනවා. නෑ, වැරදුණා…. ඔබ ජීවත් වෙනවා. ඇයි ඔබ ජීවත් වෙන්නේ? ඔබ කවුද? මොනවාද කරන්නේ? ඇයි ඔබ ඒ දේවල් කරන්නේ? මේ ප්‍රශ්නවලට මූනිච්චාවට ඔය මොකක් හරි දෙයක් කියලා හෙමින් සැරේ ලිස්සලා යන්න ඔබට හිතේවි. ඒ මොකද ඔබ යාතාර්ථයට බයයි. අපි හැමෝම යතාර්ථයට බයයි. අපි හැම කෙනෙක්ටම ජීවිතේ හංගාගන්න කෑල්ලක් තියෙනවා. ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්. නැතිනම් නරක දෙයක් වෙන්න පුළුවන්. ඒහෙම වෙලාවක මේ සැඟවුණ ඇත්ත කවුරු හරි හෙළි කරන්න යනවා නම් ඔබ මොකද කරන්නේ? ඒ පුද්ගලයාව කොහොම හරි වළක්වන්න උත්සාහ කරනවා. මම හරිද?
ඔව්, එකෙකු තම තම නැණ පමණින් අනෙකාව වැළැක්වීම සිදු කරනවා. මේ විදියට තිත්ත වුණත් ඇත්ත හෙළි කිරීමේ කාරණාව වෘත්තියක් විදියට කැටගරයිස් කළොත් ජර්නලිස්ට් කියන්නේ අන්න එහෙම කෙනෙක්. අනුන්ගේ දේවල් හොයන එක ජර්නලිසම් කියලා දැන් මෙතන කියලා තියෙනවා කියලා හිතනවා නම් ඒ අදහස වැරදියි. හරිද? මෙතන කියන්නේ එහෙම කතාවක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනමාධ්‍යය කියන්නේ අතිශය වැදගත් සංකල්පයක්.
අදහස් ප්‍රකාශනයේ අයිතිය නිසි ලෙස තහවුරු වන රටක කාගේවත් අතකොළුවක් නොවී සිය පෑන මෙහෙයවන මාධ්‍යවේදීන් ලෝකයේ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි… ඔවුන් නිතරම තමන්ගේ ජීවිතයට ඇති අවදානම ගැන හොඳ අවබෝධයකින් වැටහීමකින් පසුවෙනවා. බලය වැඩි තැනට , කුට්ටිය ලොකු තැනට බඩ ගාන නමට මාධ්‍යවේදීන් අනන්තවත් දැකපු සහ දකින කාලයක මේ කියන්න හදන්නේ පෑන නිසා ජීවිතය කෙළවර කර ගන්න සිද්ධ වුණ සුවිශේෂී චරිත කිහිපයක් ගැනයි.
පහුගිය කාලයේ අපි හුඟක් කතා කළ නමක් තමයි ජමාල් කෂෝග්ජි කියන්නේ. ජමාල් කියන්නේ සෞදි රජයේ උපදේශකයෙක් විදියට වැඩ කරලා පසුකාලීනව ඉන් ඉවත්ව ඇමරිකාව තමන්ගේ වාසස්ථානය විදියට තෝරා ගත් මාධ්‍යවේදියෙක්. විශෞෂයෙන් ම ඔහු සෞදි රජ පවුලේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් ව දැඩි ලෙස විවේචනය කරනවා. ඒ වගේම සෞදි පාලනය හා සමාජයීය ආගමික කාරණා ගරන ජමාල් තමන්ගේ පෑන මෙහෙයවනවා. නමුත් අලුත් ජීවිතයක් පටන් ගන්න හීන මවපු ජමාල්ගේ ජීවිතය උදුරා ගැනීමෙන් එය අවසන් වෙනවා. ජමාල් ගේ මරණය ගැන වෙනමම ලියන්න ඕනෙ දෙයක්.
2017 – 2018 කාලය තුළ ජමාල් වගේම මාධ්‍යවේදීන් විවිධ හේතු නිසා අකාලයේ ජීවිතයෙන් සමු ගත්තා. ජමාල් කෂෝග්ජි ගැන මේ තරම් කතා කරන්න හේතු වුණේ ඔහුගේ ඝාතනය ගැන සඟවන්න උත්සාහ කළ සාක්ෂි ලෝක බලවතුන්ගේ බලපෑම් මැද අනාවරණය කරන්නට ඉඩ දෙන්න සෞදි රජයට සිදුවීම නිසා.
දැන් මේ කියන්න උත්සාහ කරන සිව් දෙනාම දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් හා උසස් ගණයේ පුද්ගලයන් විසින් සිදු කරන ලද වංචා දූෂණ පිළිබඳව සිය පෑනෙන් ලොවට තතු හෙළි කළ පුද්ගලයන් වීම විශේෂත්වයක්. ඒ තිත්ත ඇත්ත අනාවරණය කිරීමේ ප්‍රතිඵලයක් විදියටයි සේ සිව්දෙනාටම මරණය උරුම වෙන්නේ.
වික්ටෝරියා මාරිනෝවා – බල්ගේරියාව
බල්ගේරියානු ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක්. බල්ගේරියාවේ රූස් හිදී ඇයව ඝාතනයට ලක් වෙනවා. පසුගිය ඔක්තෝබර් 06 වැනිදා මේ 30 හැවිරිදි වික්ටෝරියා ගේ මළ සිරුර එරට බළධාරින්ට හමුවෙන්නේ ඩැනියුබ් ගං ඉවුරේ තිබියදීයි. ඇයව දූෂණය කර මරා දමා ඇති බව පසුව අනාවරණය වී තිබුණා. බල්ගේරියාවේ TVN නාලිකාවේ DETECTOR නම් වැඩසටහන හරහා යුරෝපීය සංගමයේ අරමුදල් වංචාවලට බල්ගේරියානු ව්‍යාපාරිකයන් හා දේශපාලකයන් සම්බන් වී ඇති බවට චෝදනා කරමින් ඔවුන් පිළිබඳව තොරතුරු හෙළිදරව් කිරීම ඇගේ මරණයට ප්‍රබලතම හේතුව වී තිබුණා. කෙසේ වෙතත් රූස් නගරයේ කලාපීය විනිසුරුවරයෙකු වූ Boyko Borisov පැවසුවේ දූෂණය කර ඇයව මරා දැමීමට පෙර ඇගේ හිසට හා ශරීරයට දැඩි ලෙස පහර දී ඇති බවයි.
කිම් වෝල්- ස්වීඩනය
පසුගිය වසරේ අගෝස්තු 11 වැනිදා ඝාතනයට ලක් වෙනවා. කෝපන්හේගන් නගරයේදී ඇය අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වී තිබුණා. ඊට පෙර දිනයේ ඇය UC3 නෞටිලස් නම් සබ්මැරිනය නිපදවූ ව්‍යවසායකයෙකු වන පීටර් මැඩ්සෙන් ගේ ඇරයුමකට අනුව ඔහු හා සම්මුඛ සාකච්ඡාවක් සඳහා ගොස් තිබෙනවා. 11 වැනිදා පෙරවරුවේ මේ සබ්මැරිනයෙන් ආපදා ඇමතුමක් ලැබී තිබෙන අතර එදා උදෑසනම මේ සබ්මැරිනය දියේ ගිලී තිබෙනවා. මේ සිදුවීමෙන් පීටර් මැඩ්සෙන් දිවි බේරාගෙන තිබුණත් කිම් වෝල් ට සිදු වුණේ කුමක්ද යන්න පැහැදිලි නැහැ. මැඩ්සෙන්ගෙන් කිම් පිළිබඳ ප්‍රශ්න කිරීමේදී ඔහු මුලින්ම පවසා තිබෙන්නේ සබ්මැරිනය ගිලෙන මොහොතේ ඇය ජීවිතාරක්ෂක බෝට්ටුවකට යොමු කෙරුණු බවයි. නමුත් දින 10ට පසු අගෝස්තු 21 වැනිදා සිට නොවැම්බර් 29 අතර කාලයේදී කිම් වෝල්ගේ ශරීර කොටස් හමු වෙන්නට පටන් ගන්නවා. කිම් වෝල් ඝාතනය සම්බන්ධයෙන් පීටර් මැඩ්සෙන් ට චෝදනා එල්ල වුණා. 2018 අප්‍රේල් 25 වැනිදා ප්‍රසිද්ධ නඩු විභාගයකින් පසු ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට කෝපන්හේගන් නාගරික අධිකරණය කටයුතු කළා.
කිම් ඉසබෙල් ෆ්‍රෙඩ්රිකා වෝල් ජනසන්නිවේදනය හා ජාත්‍යන්තර අධ්‍යයනය සම්බන්ධයෙන් පශ්චාත් උපාධි දෙකක් හිමි දක්ෂ මාධ්‍යවේදිනියක්. The Guardian, The New Yok Times, Time වැනි සඟරා සඳහා ලිපි සපයා තිබෙනවා. ඒ වගේම දේශගුණ විපර්යාස හා මාර්ෂල් දූපත්වල න්‍යෂ්ටික අත්හදා බැලීම් පිළිබඳ ඈ ලියූ ලිපියකට ජර්මනියෙන් හැන්සල් මීත් ත්‍යාගය පවා හිමි කර ගැනීමට ඇයට හැකි වුණා. කිම් ගේ මරණයෙන් පසුව ලොව පුරා විසිරී සිටින කාන්තා ගවේෂණාත්මක මාධ්‍යවේදීන් වෙනුවෙන් කිම් වෝල් ගේ නමින් අරමුදලක් ඇගේ පවුලේ අය හා මිතුරන් එක්ව පිහිටවූවා.
ජෑන් කුසිඇක් – ස්ලෝවැකියාව
ස්ලෝවැකියාවේ ඉහළ මට්ටමේ දේශපාලකයන් හා සම්බන්ධව සිටිමින් විවිධ බදු වංචා සිදු කරන ව්‍යාපාරිකයන් පිළිබඳව තොරතුරු අනාවරණය කළ ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක්. පසුගිය පෙබරවාරියේ ජෑන් සහ ඔහුගේ පෙම්වතිය වෙල්කා මාචා ස්ලෝවැකියාවේ ගලන්තා හි පිහිටි ඔවුන්ගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කරනවා. ජෑන් ගේ මරණය ස්ලෝවැකියානුවන් පමණක් නොවෙයි, ජාත්‍යන්තරයේ ද අවධානයට ලක් වුණා. ඒ වගේම එය අවසානයේ එරට දේශපාලන ක්ෂේත්‍රයට පවා දැවැන්ත බලපෑමක් ඇති කරන්නට සමත් වුණා. ස්ලෝවැකියානු අගමැති රොබට් ෆිකෝ එක් පැත්තකිනුත් ජනාධිපති අන්ද්‍රේ කිස්කාට ද විරුද්ධ පාක්ෂිකයන්ගෙන් ද විවිධ බලපෑම් එල්ල වුණා. අවසානයේ මාර්තු 15 වැනිදා අගමැති ෆිකෝ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස් වෙනවා. 2018සැප්තැම්බරයේ ස්ලෝවැක් පොලිසිය කියා සිටියේ ඔහු සිදු කළ විමර්ශනාත්මක වාර්තාකරණයන් හේතුවෙන් කිසිවෙකුගේ නියෝගයක් අනුව මේ මරණය සිදු වී ඇති බවයි. ඒ අනුව යමින් පුද්ගලයන් 8ක් අත්අඩංගුවට ගත්තා. ඉන් තිදෙනෙකුට මිනීමැරුම සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා.
ඩැෆ්නි කරුආනා ගලීසියා – මෝල්ටා
මෝල්ටා හි දූෂණ වංචාවලට එරෙහිව ක්‍රියා කළ මාධ්‍යවේදිනියක්. ඇය මෝල්ටා දේශපාලනඥයන් සිදු කළ මූල්‍ය වංචා හා දූෂණ පිළිබඳ තොරතුරු අනාවරණය කළා. ඇයට එල්ල වූ මරණ තර්ජන හෝ නෛතික ක්‍රියාමාර්ග කිසිවක් ගණන් නොගත් ඩැෆ්නිගේ අනාවරණයන් කෙතරම් බරපතල වුණාද කිවහොත් මෝල්ටා පොලිසිය ඇයව දෙවරක් අත්අඩංගුවට ගන්නවා. විශේෂයෙන් ම ඇය 2017 -2018 කාලයේදී පැනමා පත්‍රිකාවලට සම්බන්ධ දේශපාලනඥයන් පිළිබඳ ආන්දෝලනාත්මක කරුණු හෙළි කළා. බලයේ සිටින මෝල්ටා අගමැති ජෝසප් මස්කට්ගේ බිරිඳ මිෂෙල් මස්කට් සම්බන්ධ පැනමා පත්‍රිකා පිළිබඳ ඇය හෙළි කර තිබුණා.
පසුගිය වසරේ ඔක්තෝබර් 16 වැනිදා කාර් බෝම්බ ප්‍රහාරයට ලක්ව සිය නිවස අසළදීම ඩැෆ්නි ඝාතනයට ලත් වෙනවා. බෝම්බ පිපිරීම සිදු වූ ස්ථානයෙන් මීටර 800ක් එපිටින් තිබී ඇගේ මළ සිරුර හමුවෙනවා. මේ ඝාතනය සම්බන්ධයෙන් සියල්ලන්ගේම අවධානය යොමු වන්නේ අගමැති ජෝසප් මස්කට් වෙතයි. ඩැෆ්නි ගේ අවමංගල අවස්ථාවට මෝල්ටා ජනාධිපති හෝ අගමැතිට සහභාගී නොවන ලෙස ඇගේ පවුලේ අය කියා තිබුණා. කොහොම වුණත් මෝල්ටා අගවිනිසුරු ඇන්ටෝනියෝ ටජානි, යුරෝපා පාර්ලිමේන්තු සභාපති හාලෙම් ඩේසිර්, හිටපු ජනාධිපති ලෝරන්ස් ගොන්සි හා හිටපු අගමැතිවරයා ද එක්ව සිටියා.
මේ සඳහන් කළේ 2017 -2018 කාලයේ ලෝකයම ආන්දෝලනයට ලක් කළ ඝාතන කිහිපයක් පමණයි. තවත් බොහෝ පිරිසක් ඝාතනය වීම්, පහර දීම් නන් දෙසින් වාර්තා වෙනවා. ඒ පිළිබඳව තවත් ලිපියකින් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.
දැන් ඔබට වැටහෙනවා ඇති මිනිස්සු තමන්ගේ සැඟවුණ දේවල් හෙළි කරනවාට කොයිතරම් අකමැතිද? සත්‍යයට කොයිතරම් නම් බයද කියලා. සත්‍යය හෙළි කරනවාට බය මිනිස්සු සත්‍යවාදීන්ව හැකි ඉක්මනින් තමන් ජීවත් වන නරකාදියෙන් සුරලෝකයට පළවා හරිනවා. දෙවියන්ගේ මල් උයනේ සුපිපි කුසුම් කවදාවත් කුණු ගඳ හමන මනුෂ්‍ය ලෝකයේ වැඩිකාලයක් රඳවා තබන්නේ නැහැ. මේ මිය ගිය හැම කෙනෙක්ටම ජීවිතය ගැන බලාපොරොත්තු තිබෙන්නට ඇති. සිහින තිබෙන්නට ඇති. හැබැයි තමන්ගේ පෞද්ගලික ජීවිතයේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම පසෙක තබමින් සත්‍යගරුක නිදහස් නිවහල් ලෝකයක සිහිනය සැබෑ කරනු වස් සිය පෑන මෙහෙයවූ නිසා ජීවිතය අහිමි වූ මාධ්‍යවේදීන් අපේ රටෙත් ඉන්නවා.
ඔවුන් මහ දවාලේ ඝාතනය වුණේ, අතුරුදන් වුණේ පැවති රජයන් විවේචනය කිරීමේ ප්‍රතිඵලයක් විදියට. පහර දීමෙන්, සිරගත කිරීමෙන් හෝ මරා දැමීමෙන් සත්‍යය වසන් කළ නොහැකියි. එකෙකු මිය යන විට ඒ මිය ගිය පුද්ගලයා කැපූ පාරේ ඔහු පසුපසින් තවත් සියදහස් ගණනක් පැමිණේවි. මේ සටහන ඒ සුවහසක් ජනමාධ්‍යවේදීන්ගේ නාමයට උපහාරයක් වේවා!!!!
– සුපුන් භාග්‍යා වීරකෝන් –
Post a Comment