මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විෂයභාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දැනුම් දුන්නා. පාසල් වෑන් රථවල ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස හයක කාලයක් ලබාදීමටද ජනාධිපතිතුමා එකඟතාව පළ කළේ කුරුණෑගල ජනහමු කිහිපයකට එක්වෙමින්.
වන්දි ගෙවීමේ ගැටලු හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ කොළඹ සිට කුරුණෑගල දක්වා කොටසේ ඉදිකිරීම් අඩාලව පවතිනවා. ඊට කඩිනම් විසදුම් ලබා දී අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට උපදෙස් ලබා දුන්නා. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් දෙවන දිනටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ චාරිකා කරමින් මාවතගම මහජන පොළ භූමියේ පැවති ජනහමුවේදී ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබාදීම සිදු කළා. එය සංවිධාන කර තිබුණේ අපේක්ෂක කමල් පෙරේරා මහතායි.
සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමයින් ප්‍රවාහන සේවා සංගමයේ ඉල්ලීමකට අවධානය යොමු කළ ජනාධිපතිතුමා පාසල් වෑන් රථවල ලීසිං ණය වාරික ගෙවීමට තවත් මාස හයක සහන කාලයක් ප්‍රදානයටද එකඟතාව පළ කළා. නිදහස්ගම විද්‍යාදීප සහ දේවාපොළ කුමර යන විද්‍යාලවල ක්‍රීඩාපිටි ප්‍රතිසංස්කරණය කර දෙන්නැයි සිසුන් කළ ඉල්ලීම ඉටු කරන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යුද හමුදාපතිවරයාට උපදෙස් ලබා දුන්නා.
මාවතගම ජාතික පාසලට ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයක් ඉදිකරදෙන මෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. කහපත්වල ක්ෂේත්‍ර නිලධාරීන්ට සේවා පියස ගොඩනැගිල්ලක් ඉදිකර දීමටද මෙහිදී තීරණය වුණා. ශ්‍රීමත් ජෝන් කොතලාවල මධ්‍ය මහ විද්‍යාලය ජාතික පාසලක් ලෙස උසස් කරන බව දොඩංගස්ලන්ද මහජන පුස්තකාල ක්‍රීඩාංගණයට පැමිණි ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ විදුහල්පතිවරයා ඇතුළු සිසුන් කළ ඉල්ලීමක් සැළකිල්ලට ගනිමින්. එම ක්‍රීඩාංගණයේ සිට දොඩංගස්ලන්ද රිදීගම සතිපොළ භූමියට යන මග දෙපස රැස්ව සිටි ජනතාව සමඟ සුහද කතාබහක නිරතවීමටද ජනාධිපතිතුමා කටයුතු කළා. දොඩංගස්ලන්ද රෝහලේ පැවති අඩුපාඩු සොයා බලා විසදුම් දෙන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට දැනුම් දුන්නේ රෝහල ඉදිරිපිට රැස්ව සිටි සේවක පිරිස කළ ඉල්ලීම් සැළකිල්ලට ගනිමින්.
අපේක්ෂක ආර් ඩී විමලදාස මහතා දොඩංගස්ලන්ද සතිපොළ භූමියේ සංවිධාන කළ ජනහමුවට ජනාධිපතිතුමා මෙන්ම අග්‍රාමාත්‍යවරයාද එක්ව සිටියා. සුළු අපනයන භෝග මිල පහත වැටීම, මත්ද්‍රව්‍ය උවදුර, මාර්ග පද්ධතියේ අඩුපාඩු ඇතුළු ගැටලු රැසක් ජනාධිපතිතුමා වෙත මෙහිදී ඉදිරිපත් කෙරුණා. අපේක්ෂක සුමිත් රාජපක්ෂ මහතා අලව්ව ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජනහමුවට ජනාධිපතිතුමා එක්වූයේ ඉන් අනතුරුවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙන්ම කලාකරුවන් පිරිසක් ද ඊට සහභාගී වී සිටියා.
අලව්ව නගරයේ දුම්රිය හරස් මාර්ගයට ඉහළින් ගුවන් පාලමක් ඉදිකිරිම ඇතුළු නගර සංවර්ධන සැලැස්ම කෙරෙහි ජනාධිපතිතුමා අවධානය යොමු කළා. දඹදෙණිය රෝහලට අයත් ඉඩමේ පෞද්ගලික ගොඩනැගිල්ලක් ඉදිකිරීම හා රෝහලේ අඩුපාඩු පිළිබද ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළා. අපේක්ෂක ශාන්ත බණ්ඩාර මහතා දඹදෙණිය සංවර්ධන පදනම් භූමියේ සංවිධාන කර තිබු ජනහමුවට ද ජනාධිපතිතුමා එක් වුණා. අපනයන ඇණහිටීමෙන් කුඩා කර්මාන්තකරුවන් මුහුණ දී ඇති දුෂ්කරතා පිළිබඳ අගමැතිතුමා හා ජනාධිපතිතුමා දැනුවත් කිරීමටයි කටයුතු කෙරුණේ. ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව නිර්නාමික තොරතුරු ජනාධිපති කාර්යාලයට යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැස්ව සිටි පිරිස කළ ඉල්ලීමට පිළිතුරු දෙමින් කියා සිටියා. අපේක්ෂක ටිකිරි බණ්ඩාර අධිකාරි මහතා පොල්ගහවෙල වීරඹුගෙදර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ සංවිධාන කර තිබු ජනහමුවට එක් වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද කතාබහකද නිරත වුණා.
The post මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් appeared first on ITN News.
Post a Comment