Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දේශීය කුළුබඩු ඇසුරුමක් රු 800ක සහන මිලට  

Add comments

ඉහළ ප්‍රමිතියෙන් යුතු දේශීය කුළුබඩු වර්ග අඩංගු රු.1350 ක වෙළෙඳපොල වටිනාකමක් සහිත කුළුබඩු ඇසුරුමක් රු. 800 ක සහන මිලට අලෙවි කරන බව උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුලු වැවිලි බෝග වගා සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය.

කහ කුඩු, මිරිස් කුඩු, ගම්මිරිස්, තුනපහ, අබ, උළුහාල් යනාදී අත්‍යවශ්‍ය කුළුබඩු ඇතුළත් මෙම පිරිමැසුම්දායී කුළුබඩු ඇසුරුම, ඉදිරි සතිවල සතොස අලෙවි ජාලයෙන් ජනතාවට මිලදී ගැනීමට පිළිවන. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ “ජීවන වියදම, ආර්ථිකය හා අපනයන ප්‍රවර්ධනය” යන මාතෘකාවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (21) සංවිධානය කර තිබූ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.

අමාත්‍යාංශ නාමකරණයට අනුව ගත්තද සුළු අපනයන බෝග සඳහා අනන්‍ය වටිනාකමක් තහවුරු කිරීමට පියවර ගෙන ඇතැයි සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා නිෂ්පාදකයන් නගාසිටුවීමට කඩිනම් ක්‍රියාමාර්ග සැලසුම් කර ඇති බව පැවසීය. ඉකුත් වසරේ ජුලි මාසය වන විට රු.මිලියන 27,977 ක් වූ සුළු අපනයන බෝග ආදායම, මෙම වසරේ අද වනවිට රු.මිලියන 43,112 ක් දක්වා වැඩිකිරීමට හැකි විය. වසරේ ඉදිරි කාලය තුළ මෙම ආදායම දෙගුණ කිරීමටත් අපනයන වෙළෙඳපොල පුළුල් කර සුළු අපනයන ආදායම වැඩිකිරීමටත් අපේක්ෂා කෙරේ.

අමාත්‍යවරයා අනාවරණය කළ පරිදි, කුළුබඩු සංස්ථාව පිහිටුවීම, කෘෂි අපනයන කලාප හා අපනයන ගම්මාන ඇතිකිරීම වැනි නව ව්‍යාපෘති රැසක් මේ වන විටත් ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දියත් කර තිබේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අපනයන ගම්මානය බැගින් පිහිටුවා ඇත. ඉදිරි ඔක්තෝබර් මාසය තුළ ගම්මාන 200 ක වගාව සඳහා අවශ්‍ය පැළ රෝපණය කෙරේ.

පැල්වත්ත, සෙවනගල සීනි කර්මාන්තශාලා සීනි නිෂ්පාදනය පුළුල් කර තිබේ. පසුගිය කාලයේ ඉමහත් විවාදයට ලක්ව තිබූ එතනෝල් ආනයනය නතර කර අතුරු නිෂ්පාදනයක් ලෙස දේශීය එතනෝල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට හැකි විය. සීනි හා එතනෝල් නිෂ්පාදනයට අමතරව එම කර්මාන්ත ශාලාවේ ජෛව පොහොර නිපදවීමටද සැලසුම් කර ඇත. රසායන පොහොර භාවිතයෙන් තොර බවට සහතික කළ සීනි නිෂ්පාදනය කරමින් විදෙස් වෙළෙඳපොලට ප්‍රවේශ වීමටත් දේශීය වෙළෙඳපොලේ දැනට රු.115 කට අලෙවිවන සීනි කිලෝග්‍රෑමයක් අපනයන වෙළෙඳපොලේ රු. 2500 කට අලෙවි කිරීමටත් අපේක්ෂිත බව වක්කුඹුර මහතා ප්‍රකාශ කළේය. වසවිසෙන් තොර රතු සීනි කිලෝව රු.115 ක මිලකට සියලු සතොස වෙළඳසැල්හි දැන් අලෙවියට එක් කර ඇත.

දේශීය සුළු අපනයන වගාවෙහි රසායනික පොහොර භාවිතය ඉතා අඩු බව ප්‍රකාශ කළ රාජ්‍ය අමාත්‍යවරයා කාබනික පොහොර භාවිතයෙන් වසවිසෙන් තොර වගාවකට යොමු වීම එම නිෂ්පාදන සඳහා දෙස් විදෙස් වෙළෙඳපොලේ ඉහළ ඉල්ලුමකට හා ඉහළ මිලකට හේතු වන බව පෙන්වා දුන්නේය. වස විසෙන් තොර ඉහළ ප්‍රමිතිගත නිෂ්පාදන අලෙවියට, “සතොස ඕර්ගනික් සුපර් අලෙවි සැල්” (Sathosa Organic Super Market) දිවයින පුරා ඇති කිරීමටද සැලසුම් කර ඇති බව මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කෙරිණි.

The post දේශීය කුළුබඩු ඇසුරුමක් රු 800ක සහන මිලට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG