මහා පරිමාණ සහල් මෝල් හිමියන් අද ප්‍රකාශ කළේ සාධාරණ මිල ගණන් යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබා ගැනීම සදහා ඉදිරි දින දෙක තුළ සහල් තොග වෙළෙදපොළට මුදා හරින බවයි.
මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමය සහල් වර්ග තුනක නව සිල්ලර මිල අද නිවේදනය කළා. ඒ අනුව නාඩු කිලෝවක සිල්ලර මිල රුපියල් 115 ක් ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 140 ක් සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 165 කට අලෙවි කිරීමටයි තීරණය කර ඇත්තේ.
සහල් පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා. වෙළෙදපොලේ සහල් මිල ඉහළ යාම වැලැක්වීමේ අරමුණෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කරන්නත් කැබිනට් අනුමැතිය හිමිවුනා.
සහල් හිගයත් සමග මිල ඉහළ යාමේ වාතාවරණය හමුවේ පාලන මිලක් නියම කරමින් විශේෂ ගැසට් පත්‍රයක් පසුගිය දෙවනදා නිකුත් කෙරුණා. ඒ කීරි සම්බා කිලෝ එකක් රුපියල් 125 ක් ද සුදු හා රතු සම්බා කිලෝ එකක් රුපියල් 103 ක් ලෙස මිල සදහන් කරමින්. එමෙන්ම සුදු හා රතු නාඩු කිලෝ එකක් රුපියල් අනූ අටක් සහ සුදු හා රතු කැකුළු කිලෝ එකක් රුපියල් 95 ක් ලෙස මිල නියම කෙරුණා. එම ගැසට් නිවේදනයට අනුව ක්‍රියා නොකරන ව්‍යාපාරික ස්ථාන වැටලීමටද පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළා.
මෙම පසුබිම හමුවේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් වී මිලදී ගැනීම නතර කිරීමත් සමග වෙළදපොළ තුළ දැඩි සහල් හිගයක් නිර්මාණය වුණා. මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් සහල් සදහා පනවා තිබූ පාලන මිල ඇතුළත් ගැසට් නිවේදනය අවලංගු කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කළා. වෙළෙදපොළ තුළ සහල් හිගයක් ඇති නොවීම සදහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටද තීරණය කෙරුණා.
The post සහල් වර්ග තුනක නව මිල ගණන් මෙන්න appeared first on ITN News.
Post a Comment