Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරන බව විශ්වාසයි – අගමැති  

Add comments

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව තමන් දැඩි සේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් පිදුම් ලැබු නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ පිළිගැනීම උදෙසා පැවති ‘‘යතිවර හරසර’’ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා ඊයේ (11) පස්වරුවේ මේ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී ‘‘යතිවර හරසර’’ උපහාර පිදීමේ උත්සවය පැවැත්විණි. රජරට විශ්වවිද්‍යාලයේ කුලපති මිරිසවැටිය රජමහා විහාරාධිපති ආචාර්ය ඊතලවැටුණවැවේ ඥාණතිලක ස්වාමින්වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යන අංශයේ අංශාධිපති මහාචාර්ය මල්වානේ චන්දරතන ස්වාමීන්වහන්සේ සහ සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ධර්මන් වික්‍රමරත්න මහතා මෙහි දී
පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේගේ ජීවන දර්ශනයට අදාළව දෙසුම් පැවැත්වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උත්සවයේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය,

ආචාර්ය ගෞරවාර්හ මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පදවිය පිරිනැමීම නිමිත්තෙන් පවත්වන මෙම සම්භාවනීය උත්සවයේ දී ඔබ සැම ඇමතීමට ලැබීම සතුටට කරුණක්.

අපේ මුරුත්තෙට්ටුවේ නායක හාමුදුරුවෝ කෑගලු දිස්ත්‍රික්කයේ මුරුත්තෙට්ටුව ග්‍රාමයේ ඉපදිලා අද කොළඹ නාරාහේන්පිට අභයාරාමාධිපතිව වැඩ වෙසෙමින් ඉටුකරන සේවය අති විශාලයි. නායක හාමුදුරුවෝ මේ රටේ හැම කෙනෙක්ම දන්නේ හෙද සේවාව නිසයි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පිහිටුවා අද දක්වාම සභාපති පදවිය දරන්නේ අපේ නායක හාමුදුරුවෝ
බව අපි දන්නවා. ඒ තුළින් හෙද සේවාවේ වෘත්තීය අයිතීන් මෙන්ම ඔවුන්ගේ විවිධ අවශ්‍යතා ද නායක හාමුදුරුවෝ සම්පූර්ණ
කළේ දැඩි කැමැත්තෙන්. අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රධානම බලවේගයක් බවට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පත් කිරීමට හැකි වී තිබෙන්නේ උන්වහන්සේ තුළ තිබෙන නිවැරදි හා සෘජු නායකත්වය නිසායි.

රටේ අර්බුදකාරී අවස්ථාවලදී අපේ නායක හාමුදුරුවෝ පෙරමුණගත් හිමිනමක් බව විශේෂයෙන් මතක් කරන්න ඕනෙ. 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ දී උන්වහන්සේ රට වෙනුවෙන් ඉටුකළ කාර්යභාර්ය සුළුපටු නොවේ. එසේම උන්වහන්සේ වෙත යමෙක් පැමිණියා නම් ඒ අයට තමන්ගෙන් ඉටුවිය යුතු අවශ්‍යතාවයන් ඉටුකර දෙන්නේ පුදුම සතුටකින්. ඒ වගේම මගේ දේශපාලන ජීවිතයේ සෑම විශේෂ අවස්ථාවලදීත් උන්වහන්සේ මුණ ගැහෙන්න ගියා. ඒ වගේම උන්වහන්සේ මා මුණ ගැහෙන්නත් නිතර වඩිනවා. එසේම මුණ ගැසුනු සෑම අවස්ථාවකදීම මා සමඟ සාකච්ඡා කළේ, රටේ මෙන්ම සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් කටයුතු ඉටුකිරීමට අවශ්‍ය දේවල් පිළිබඳවයි.

උන්වහන්සේ තුළ තිබෙන පරිත්‍යාගශීලි ගුණය වචනයෙන් විස්තර කරන්න බැහැ, තමන්ගේ පරිහරණය සඳහා තිබෙන දෙයක් හෝ උන්වහන්සේ අනුන්ට පරිත්‍යාග කරන්නේ පුදුම කැමැත්තකින්. මට මතකයි 2015 දී පැරදිලා මැදමුලනට ගියාට පස්සේ අපේ නායක හාමුදුරුවන් වැඩම කළා. උන්වහන්සේ මා සොයා පැමිණ නැවත මේ රට ගොඩනැගීමට භාර ගන්නා ලෙස කළ ඉල්ලීම අදත් මට සිහිපත් වෙනවා. එසේ ඉල්ලීමක් කළා පමණක් නොවෙයි අභයාරාම විහාරස්ථානයේ සිට අපගේ කටයුතු කිරීමට ලබාදුන් සහය මම මෙම අවස්ථාවේ දී කෘතවේදී ව සිහිපත් කිරීමට කැමැතියි.‍ එදා අභයාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන අප පක්ෂය නගා සිටුවීමට ලබාදුන් සහය තුළ අපට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපති පදවියට තෝරාපත් කර ගැනීමට හැකි වුණා පමණක් නොවෙයි, අපේ රජයක් ද බිහිකිරීමට පුළුවන් වුණා. මා විපක්ෂයේ සිටියදීත්, ඇමැතිවරයෙක් ලෙස සිටියදීත්, ජනාධිපතිවරයා ලෙස සිටියදීත්, අපේ නායක
හාමුදුරුවෝ මා වෙත ලබාදුන්නේ විශාල සහයක්. අද බොහෝ පිරිසකට උන්වහන්සේ මේ රට වෙනුවෙන් ඉටුකළ මෙහෙය අමතක වෙලා. නමුත් මාගේ කළ්‍යාණ මිත්‍ර හිමිනමක් ලෙස උන්වහන්සේ මා වෙනුවෙන් මෙන්ම අප රජය වෙනුවෙන් ඉටුකළ සේවාව කිසිදිනක අමතක වන්නේ නෑ.

විශේෂයෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිවන්නේ මේ රටේ ඉදිරි ගමන් මග භාරගන්නා පිරිසක්, එහිදී දැනුම කුසලතා මෙන්ම විනයගරුක පිරිසක් බිහිකිරීමේ වගකීම රජයක් හැටියට අපට තියෙනවා. ඒ නිසයි උසස් අධ්‍යාපනය වෙනුවෙන් අප විශාල මුදලක් වැය කරන්නේ.

මුළු ලෝකයටම අද තමන්ගේ රටවල් නැවත නගා සිටුවීමට සිදුවී තිබෙනවා. ඒ 2020 දී ඇති වූ කොවිඩ් 19 වසංගතය නිසා, මෙය ආරම්භයේ දී කුමන තත්ත්වයේ රෝගයක්ද යන්නවත් වෛද්‍යවරුන්වත් දැන සිටියේ නැහැ, නමුත් අද වන විට ලෝකයේම මෙම රෝගය යම් ප්‍රමාණයකින් පාලනය කිරීමට හැකි වී තිබෙනවා. ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැක්වූ දක්ෂතා නිසයි, එහිදී වෛද්‍යවරුන් මෙන්ම හෙද කාර්ය මණ්ඩලයත් අනෙක් සියලු දෙනාත් ඉටු කළ සේවාව අපට කිසිදිනක අමතක කිරීමට පුළුවන් කමක් නැහැ. අපේ රට දශක 03කට වැඩි කාලයක් යුද්ධයක් තිබු රටක්, එහිදී අප ලබාගත් අත්දැකීම් තුළ අපට නැවත මේ රට නගා සිටුවීමට හැකියාව ලැබුණා. රට ගොඩනැගීමට අවශ්‍ය මානව සම්පත බිහි කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රධාන වශයෙන් දායක වෙනවා. එබඳු විශ්වවිද්‍යාලයක කුලපති පදවිය දැරීමට තරම් අප නායක ස්වාමීන් වහන්‍සේ අපේ රට වෙනුවෙන් ඉටුකළ සේවාව අපමණයි.

පසුගිය දවසක උන්වහන්සේ විශ්ව විද්‍යාල දරුවන්ගේ ඇදුම් පිරිසිදු කර ගැනීමට අවශ්‍ය රෙදි සෝදන යන්ත්‍ර 20 ක් පමණ පරිත්‍යාග කළ බව මා දුටුවා. එසේම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව 1000 ක් පමණ ප්‍රදානය කිරිමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව දැන ගන්නට ලැබුණා. ඉදිරියේදීත් අප නායක හාමුදුරුවන් කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරලීමට අවශ්‍ය කටයුතු සලසන බව මා දැඩි සේ විශ්වාස කරන
කරුණක්.

අපේ නායක හාමුදුරුවෝ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ක්‍රියාශිලි නිහතමානි භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ ඉටුකරන සියලු කටයුතු ශක්තිමත්ව ඉටුකරලීමට අවශ්‍ය කායික හා මානසික ශක්තියත්, දීර්ඝායුෂත් තෙරුවන් සරණින් ලැබේවා! යැයි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන්සරණයි!යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහේන්පිට ශ්‍රී අභයාරාම පුරාණ විහාරාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ,

ගරු ජනාධිපතිතුමනි ඇත්තෙන්ම මේ ඔබතුමා ලබා දුන් පදවිය, මම මේ පදවි සොයා යන හිමිනමක් නෙමෙයි. නමුත් ඔබතුමාට කරන ගෞරවයක් වශයෙන් තමයි මම ඒක බාරගත්තේ. ඒ නිසා මම ඔබතුමාට මුලින්ම ස්තූතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර පිරිනැමීම පිළිබඳව.

ඒ වගේම ඒ ධුර කාලය තුළ මම බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශාල වශයෙන් අපේ අගමැතිතුමා කිව්වා වගේම මම දැනටමත් සුදානම් කරලා තියෙනවා ශිෂ්‍යත්ව 1000 ජනවාරි මස ඉඳලා ආරම්භ කරන්න. ඉතින් විශ්වවිද්‍යාලය දියුණු කරන්නටත් මම කල්පනා කරලා තියෙනවා. ඒ වගේම මම එදා ඔබතුමාගෙන් ඉල්ලීමක් කළා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නේවාසිකාගාරයක් හදන්න ඉඩම්
කැබැල්ලක් ලබල දෙන්න. එහෙම ලබල දුන්නොත් එයත් අපට කරන්න පුළුවන්. මම හිතනවා ඔබතුමා ඉතා ගෞරවයෙන් එම ඉල්ලීම පිළි අරගෙන අපි ඒක කරමු කියන සංකල්පය මට ලබා දුන්නා. ඒකට මම ඔබතුමාට ස්තූති වන්ත වෙනවා. මම අපේ මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කරනවා. අපි දන්නවා ආණ්ඩුවේ නොයෙක් අඩුපාඩු දුර්වලකම් තිබුණා. අපි ඒවා පොඩ්ඩක් අමතක කරලා අපි මේ යන ගමන ශක්තිමත්ව යන්නට ඔබ වහන්සේලාගේ සහයෝගය අවශ්‍යයි. මොකද අපට අවශ්‍ය මේ රට එක එක්කෙනාට බෙදා දීම නෙමෙයි, වෙන් කර දීම නෙමයි, එක එක දේශපාලන පක්ෂවලට ලබා දීම නෙමෙයි, මේ රටට අප ආශිර්වාදයක් වන විදියට අපේ ජනතාවට ආශිර්වාදයක් වන විදියට ඒ වාගේම අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සංකල්පයක් තිබුනානම් රට හදමු කියන එක, අපේ මඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවොත් හැමදාම මතක් කළේ ‘‘මිනිහා හදා රට හදමු’’ කියන සංකල්පයයි. අන්න ඒ සංකල්පයත් ඇති කරගෙන අපි නැවත වාරයක් ගමනට ආරම්භයක් ඇති කරමු.

මං දන්නවා ඔබවහන්සේලාගේ හිත්වල නොයෙක් විදියේ කලකිරීම් ඇති වෙලා තියෙනවා නමුත් අපි ඒ කලකිරීම් සියල්ලක්ම නැති කරලා දාල මේ රට ගොඩ ගන්නට මේ රට ඉදිරියට ගෙන යන්නට අපි ඔක්කොම එකට එකතු වෙලා ක්‍රියා කරමු කියන සංකල්පයත් මම ඔබවහන්සේලාට මතක් කරනවා. ඔබවහන්සේලා වෙනුවෙන් අපට ඉදිරිපත් කරන ඕනෑම යෝජනාවක් අපි ක්‍රියාත්මක කරන්න සුදානම් වෙනවා කියන එක මතක් කරමින් අපි හොඳ ගමනක් යන්න හැමදෙනාම එකට එකතුවෙලා අධිෂ්ඨාන කරගමු.

‍‍මෙම අවස්ථාවට කැබිනට් අමාත්‍යවරුන්, ආණ්ඩුකාරවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,ත්‍රිවිධ හමුදාපතිවරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් , රාජ්‍ය නිලධාරීන්,හෙද හෙදියන් ඇතුලු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක් එක්ව සිටියහ.

 

 

 

The post පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්වවිද්‍යාලය දියුණු කරන බව විශ්වාසයි – අගමැති appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG