වර්තමාන දේශපාලන හා ආර්ථික ගැටලු විසදීමට අරගලයට සම්බන්ධ තරුණයින් ඇතුළු වෘත්තීයවේදීන් සංක්ෂිප්ත යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාරදුන්නා.
කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී භාරදුන් එම යෝජනාවලියට මූලික කරුණු 11 ක් ඇතුළත්.
ජාතික ප්‍රතිපත්තියක් උදෙසා වෘත්තීයවේදීන්ගේ එකමුතුව අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් හා තරුණ කණ්ඩායමක් වර්තමාන දේශපාලන හා ආර්ථික තත්ත්වය විසදීමට ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත්ව සකස් කළ සංක්ෂිප්ත යෝජනාවලියකුයි මෙසේ ජනාධිපතිතුමා වෙත භාරදුන්නේ.
පවතින දේශපාලන සාමාජීය හා ආර්ථික අර්බුදයට කෙටි මධ්‍ය හා දිගුකාලීනව ගතයුතු ක්‍රියාමාර්ග හා ජනතා හිතකාමී නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කෙරුණා. මූලික කරුණු 11 ක් සහිතව ඉදිරිපත් කෙරුණු යොජනාවලිය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරි දින කිහිපය ඇතුළත මීළග සාකච්ඡාව පැවැත්වීමටයි මෙහිදී එකගතාවට පැමිණියේ.
රට ගොඩගැනීම සදහා විවිධ ක්ෂේත්‍රයන්හි ප්‍රවීණයින් නියෝජනය කරන කණ්ඩායම් කිහිපයක් සූදානම් බව මෙහිදී සදහන් කෙරුණු අතර එම පිරිසේ සාධනීය සැළසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය සහ සම්පත් ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළා.
සියලු අමාත්‍යාංශ වෙත නිශ්චිත ඉලක්කයක් සහිත සංවර්ධන වැඩපිළිවෙළක් වාර්ෂිකව ලබාදීමටත් එම ඉලක්කයන්හි ප්‍රගතිය ත්‍රෛමාසිකව විමර්ශනයට පියවර ගත යුතු බවත් වෘත්තීයවේදීන් පෙන්වා දුන්නා. වසර අවසානයේ ඉලක්ක සපුරාගැනීමට අපොහොසත්වන අමාත්‍යවරුන් සහ නිලධාරීන් එම තනතුරුවලින් ඉවත් කිරීමේ අවශ්‍යතාව ද මෙම යෝජනාවලියට ඇතුළත්.
ආචාර්ය පූජ්‍ය පාතේගම ඥානිස්ස, පූජ්‍ය විටියල කවිධජ යන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ ජාතික ප්‍රතිපත්තියක් සදහා වූ වෘත්තීය එකමුතුව නියෝජනය කරමින් වෛද්‍ය අශෝක ජයසේන සහ නීතිවේදී නෙලුම් වේරගොඩ යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට අරගලයට සම්බන්ධ වෘත්තීයවේදීන් හා තරුණ කණ්ඩායමක් එක්වුණා. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.
The post යෝජනා 11ක් අරගෙන, අරගල බිමේ තරුණයින්, වෘත්තීයවේදීන්, ජනපති හමුවෙයි appeared first on ITN News.
Post a Comment